
නේපාලයේ චීන සහ ටිබෙට් දේශසීමා ආසන්නයේ පිහිටි රසුවා ප්‍රදේශයට බලපෑ හදිසි ගංවතුර තත්ත්වයෙන් කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට අනතුරක් සිදුව නොමැති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
එහි මාධ්‍ය ප්‍රකාශක තුෂාර රොඩ්‍රිගෝ මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ අනතුරට පත් ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් මේ දක්වා තොරතුරු වාර්තා වී නොමැති බවය.
නේපාලයේ කත්මණ්ඩු අගනුවර ශ්‍රී ලාංකිකයින් 85ත් 100ත් අතර සංඛ්‍යාවක් රැදී සිටින බවද වාර්තා වේ.
දේශසීමාව ආසන්නයෙන් ගලායන බෝත්කොෂි ගංගාව ඔස්සේ හිම දියවීම හේතුවෙන් ඇති වූ විශාල ජල ප්‍රමාණයක් එකවර ගලාඒම හේතුවෙන් මෙම හදිසි ගංවතුර තත්ත්වය ඇතිව තිබේ.
ප්‍රදේශයේ ඇති වූ භූමිකම්පාවක් මෙලෙස හදිසි හිම දියවී යාමට හේතු වී ඇති බවට විශ්වාස පල කරයි.
ගංවතුර තත්ත්වය හේතුවෙන් බෝත්කොෂි ගංගාව ආසන්නයේ ගමන් කරන මහා මාර්ගයක් සම්පූර්ණයෙන්ම යටව ගිය අතර චීන දේශසීමාවේ පිහිටි චීන රජයට අයත් ගොඩනැගිල්ලක් ද සම්පූර්ණයෙන් විනාශයට පත්ව තිබේ.
නේපාල දේශසීමාවේ පිහිටි ග්ලැසියරයකින් අයිස් සහ ගල් සහිත නායයෑමක් සිදුවී භෝටේ කොෂි ගඟේ අතු ගංගාවක් වන ලෙන්ඩේ කොලා ගඟ අවහිර වීමත් සමඟ මෙලෙස විනාශකාරී ජල ගැලීමක් හටගෙන ඇති අතර, එමගින් පහළ ප්‍රදේශ වෙත හදිසි ජල කඳක් මුදා හැරුණි.
මෙම ගංවතුර තත්ත්වය නේපාලයේ රසුවා දිස්ත්‍රික්කයේ කඳුකර ප්‍රදේශවලට දැඩි ලෙස බලපෑ අතර,ප්‍රදේශයේ යටිතල පහසුකම්, මාර්ග, පාලම් සහ විදුලි බලාගාර ව්‍යාපෘති විනාශ වී ගොස් ඇති බව සඳහන් වෙයි.
මීට අමතරව, ටිබෙටයේ අසල්වැසි ගිරොං ප්‍රාන්තයෙන් ද දැඩි මඩ නායයෑම් සහ ජීවිත හානි පිළිබඳ වාර්තා විය.
කෙසේ වෙතත් මෙම හදිසි ගංවතුර තත්ත්වයෙන් පුද්ගලයින් 20දෙනෙකු මියගොස් ඇති අතර, විදේශීය සංචාරකයින් 291දෙනෙකු ඇතුළුව තවත් 400දෙනෙකු පමණ අතුරුදන්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.


















































