
ශ්‍රී ලංකා ප්‍රමිති සහතිකය (SLS) නොමැති විදුලි වයර් කෝඩ් අලෙවිය සඳහා ප්‍රදර්ශනය කර තිබූ අනුරාධපුර නගරයේ සුපිරි වෙළෙඳසැලකට අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය විසින් රුපියල් 200,000ක දඩ මුදලක් නියම කර තිබේ.
ඒ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් විසින් අනුරාධපුර 11 වැනි වීදියේ පිහිටි වෙළෙඳසැලක සිදුකළ වැටලීමකදීය.
විදුලි වයර් කෝඩ් වැනි විදුලි උපකරණ සඳහා නියමිත ප්‍රමිතිවලට අනුකූල වීම පාරිභෝගික ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ වැදගත්කමක් දරනු ලබයි.
ප්‍රමිතියෙන් තොර විදුලි උපකරණ භාවිත කිරීම විදුලි සැර වැදීම්, විදුලි කාන්දුවීම් සහ ගිනි ගැනීම් වැනි අනතුරු ඇතිවීමේ අවදානම ඉහළ නැංවිය හැකිය.
එබැවින් සුපිරි වෙළෙඳසැලකින් හෝ වෙනත් වෙළෙඳසැලකින් විදුලි වයර් කෝඩ් මිලදී ගැනීමේදී අදාළ SLS ප්‍රමිති ලාංඡනය සහ අනෙකුත් නියමිත තොරතුරු පරීක්ෂා කර භාණ්ඩ මිලදී ගන්නා ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වැඩිදුරටත් දැනුම් දෙන්නේ මෙවැනි නීති උල්ලංඝනය කිරීම් හෝ සැක කටයුතු භාණ්ඩ අලෙවිය පිළිබඳ තොරතුරු ඇත්නම් 1977 පාරිභෝගික ඇමතුම් අංකය ඔස්සේ දැනුම් දීමට කටයුතු කරන ලෙසය.



















































