
නව බදු ප්‍රතිසංස්කරණ හමුවේ, මේ වන විටත් වරාය නගරය තුළ අමෙරිකානු ඩොලර් බිලියන 2.1ක ආයෝජන තහවුරු වී අවසන් බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ ඉදිරි වසර 05 සඳහා අමෙරිකානු ඩොලර් බිලියන 4.1ක ආයෝජන ලබා ගැනීමට ඉලක්ක කර ඇති බවය.
මෙම ඉලක්කය සපුරා ගැනීම සඳහා මේ වන විටත් දැවැන්ත නිවාස ව්‍යාපෘති 2ක්, නවීන හෝටලයක්,සම්මන්ත්‍රණ මධ්‍යස්ථානයක් යන සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක වෙමින් පවතින බව ඔහු පෙන්වා දෙයි.
සිය සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් චතුරංග අබේසිංහ නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබේ.
පසුගිය සතියේ ඔස්ට්‍රේලියානු ආයෝජන සමුළුවේ ප්‍රධාන ආයෝජන අවස්ථාවක් ලෙස වරාය නගරය හඳුන්වාදුන් බව ඔහු පෙන්වා දෙයි.
දැනට තහවුරු වී ඇති ආයෝජන අතර ලොව ප්‍රමුඛ පෙලේ ආයෝජන කිහිපයක්ම පවතින බව ද අමාත්‍යවරයා පවසයි.
වරාය නගරයේ අත්තනෝමතික හානිදායි බදු පහසුකම් ලෝක සම්මතයන්ට සමානව සහ ආකර්ශනය අඩු නොවන ලෙස වෙනස් කිරීමට ද වත්මන් රජය පියවර ගෙන ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර තිබේ.
ඒ අනුව ප්‍රාථමික ආයෝජන සඳහා වසර 15 සිට 23 දක්වා බදු සහන ද, ද්විතීයික ආයෝජන සඳහා වසර 4ක අඩු බදු ප්‍රතිශතයක් ද ලබාදෙන නව ක්‍රමවේදයක් හඳුන්වා දී ඇති බව සඳහන් වේ.
මෙම සියලු ආයෝජන, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය හරහා ලැබෙන ආයෝජන වලට අමතර ඒවා බව චතුරංග අබේසංහ නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩදුරටත් පෙන්වා දෙයි.
ආයෝජකයන් ආකර්ෂණය කරගැනීමේදී බදු සහන පමණක් නොව, ස්ථාවරත්වය, විශ්වාසය, සම්බන්ධතාවය සහ නිවැරදි ආර්ථික දැක්ම ප්‍රධාන වන බවත්, වත්මන් රජය විසින් මේ වන විටත් එවැනි හිතකර පරිසරයක් ගොඩනඟමින් සිටින බවත් අවධාරණය කෙරේ.


















































