
පසුගිය මාර්තු 1 සිට ජූලි 13 දක්වා කාලය තුළ ගල්ෆ් කලාපයේ රටවලින් පාකිස්තාන ජාතිකයින් 20,000කට වැඩි පිරිසක් පිටුවහල් කර ඇති බව පාකිස්තාන ජාතික සභාවට ඉදිරිපත් කළ නිල වාර්තා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය පවසයි.
මෙලෙස පිටුවහල් කළ පිරිසෙන් වැඩිම සංඛ්‍යාවක් සෞදි සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් වාර්තා වී ඇත.
මෙම කාලසීමාව තුළ සෞදි අරාබියෙන් පමණක් පාකිස්තානුවන් 15,500ක් පිටුවහල් කර ඇති අතර, එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් පිටුවහල් කළ සංඛ්‍යාව 3,803 බව පැවසෙයි.
ඊට අමතරව ඕමානයෙන් 1,606ක්, බහරේනයෙන් 521ක්, කටාර් රාජ්‍යයෙන් 429ක් සහ කුවේට් රාජ්‍යයෙන් 97 දෙනෙකු පිටුවහල් කර තිබේ.
නීතිවිරෝධී ලෙස ඇතුළු වීම, වීසා කාලය ඉක්මවා රැඳීසිටීම, යාචක කටයුතුවල යෙදීම, මත්ද්‍රව්‍ය වැරදි, ආරක්ෂක හේතූන් සහ ව්‍යාජ ලේඛන භාවිතය ඇතුළු කරුණු කිහිපයක් පදනම් කරගනිමින් මෙම පියවර ගෙන ඇත.
පිටුවහල් කළ අය අතර නීතියෙන් සැඟවී සිටි තැනැත්තන් 4,628ක් සහ බන්ධනාගාරගත කර සිටි 1,294 දෙනෙකුද වෙයි.


















































