
මෙරට සුභාවිත ගීතය පෝෂණය කිරීමටත්, ගීතයෙන් ජීවිතාවබෝධය දෙන්නටත් දශක ගණනක් පුරා මෙරට ගීත කලාවට මියුරු පදවැල් දායාද කළ පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන් අද දැයෙන් සමුගත් සේක.
උන්වහන්සේගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය අද (21) සිදුකෙරුණේ දෙහිවල ශ්‍රී සරණංකර ක්‍රීඩාංගණයෙදීය.
බුදු වදනින් දෙසූ ලෝ සනාතන දහම මියුරු ගී වැලට පෙරළා සුවහසක් සිත් සනහාලූ අපවත් වී වදාළ පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ දේහය මහජන ගෞරවය සඳහා වැල්ලවත්ත ශ්‍රී සුධර්මාරාම විහාරස්ථානයේ තැන්පත් කෙරුණේ ඉකුත් බදාදා පස්වරුවේය.
උන්වහන්සේට අවසන් බුහුමන් පිදීම සඳහා ගිහි පැවිදි විශාල පිරිසක් වැල්ලවත්ත එම විහාරස්ථානයට පැමිණියහ.
හිටපු ජනාධිපතිවරුන් වන මෛත්‍රීපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් ද අද පෙරවරුවේ පැමිණ උන්වහන්සේගේ දේහයට අවසන් ගෞරව දැක්වූහ.
වැල්ලවත්ත ශ්‍රී සුධර්මාරාම විහාරස්ථානයේ තැන්පත්කර තිබූ උන්වහන්සේගේ දේහය දෙහිවල ශ්‍රී සරණංකර ක්‍රීඩා පිටියට අද පස්වරුවේ වැඩම කරවන ලදී.
ඉන් අනතුරුව ආදාහන පූජොත්සව සභාව ඇරඹුණි.


















































