මෙරට මුහුදේ නීතිවිරෝධීව ධීවර කටයුතු කළ ඉන්දීය ධීවරයින් 09ක් නාවික හමුදා භාරයට

මෙරට මුහුදේ නීතිවිරෝධීව ධීවර කටයුතු කළ ඉන්දීය ධීවරයින් 09ක් නාවික හමුදා භාරයට

August 13, 2026   09:26 am

මෙරට මුහුදු සීමාවේ නීතිවිරෝධී ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 09 දෙනෙකු සහ යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගෙන තිබේ.

ඊයේ (12) රාත්‍රී කාලයේදී, තලෙයිමන්නාරම උරුමලෙයි තුඩුවට ඔබ්බෙන් වූ මෙරට මුහුදු සීමාවේ නීතිවිරෝධී ලෙස මසුන් ඇල්ලීමේ නිරතව සිටි ඉන්දීය ධීවර යාත්‍රාවක් සහ එහි සිටි ඉන්දීය ධීවරයින් නවදෙනෙකු මෙලෙස නාවික හමුදාව භාරයට ගෙන තිබේ.

අදාළ ධීවර යාත්‍රාව ජාත්‍යන්තර මුහුදු සීමාව (IMBL) පසුකර මෙරට මුහුදු සීමාවට ඇතුළු වී, මුහුදු පතුලට හානි සිදුකරන 'Bottom Trawling' ක්‍රමය භාවිතයෙන් මසුන් ඇල්ලීමේ නිරතව සිට ඇත.

ඒ අනුව, නාවික හමුදා භාරයට ‌ගත් ධීවරයින් නවදෙනා සහ ධීවර යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම ධීවර පරීක්ෂකවරයා වෙත භාරදීමට නියමිතය.

තවද, මන්නාරම් දූපත සහ ආදම්ගේ පාලම අවට පිහිටි මන්නාරම් බොක්කේ පරිසර පද්ධතිය ජාත්‍යන්තර හා දේශීය වශයෙන් ඉහළ වැදගත්කමක් සහිත මුහුදු ජෛව විවිධත්ව හා සංරක්ෂණ කලාපයක් ලෙස සැලකේ. 

එබැවින් මෙම ප්‍රදේශය විශේෂ ධීවර කළමනාකරණ හා පාරිසරික ආරක්ෂණ රෙගුලාසි යටතේ සංරක්ෂණය කෙරෙන ප්‍රදේශයක් ලෙස පවතී.