මුතුරාජවෙල ඉන්ධන ගබඩා ටැංකි ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුවට අනුමැතිය

මුතුරාජවෙල ඉන්ධන ගබඩා ටැංකි ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුවට අනුමැතිය

August 11, 2026   02:04 pm

මුතුරාජවෙල පර්යන්තයේ නව ඉන්ධන ගබඩා ටැංකි තුනක් ඉදිකිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව අමෙරිකානු ඩොලර් මිලියන 3.04ක් සහ ශ්‍රී ලංකා රුපියල් මිලියන 2,796.14ක මුදලකට පිරිනැමීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ අරමුදල් යොදා ගනිමින් ඝන මීටර් 15,000 බැගින් වූ ඉන්ධන ගබඩා ටැංකි දෙකක් සහ ඝන මීටර් 10,000ක ධාරිතාවකින් යුත් තවත් ඉන්ධන ගබඩා ටැංකියක් ඉදිකිරීම සඳහා 2025 ජුනි 2 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබාදී තිබුණි.

ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී පාරිසරික, නෛතික සහ අනෙකුත් අවශ්‍යතා සපුරාලීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රමවේද පිළිබඳව අදාළ පාර්ශ්ව සමඟ සාකච්ඡා කර සුදුසු තීරණ ගැනීමට බලශක්ති හා පරිසර අමාත්‍යවරුන් වෙත උපදෙස් ලබාදීමට 2026 ජූලි 20 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කර තිබේ.

ඒ අනුව, මධ්‍යම පරිසර අධිකාරිය විසින් නියම කර ඇති නිර්දේශ සහ කොන්දේසි අදාළ ප්‍රසම්පාදන කොන්ත්‍රාත් ගිවිසුමට ඇතුළත් කර ඇති බවත්, වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥාපනතේ විධිවිධානවලට අනුකූලව ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බවත් අමාත්‍යවරුන් විසින් අමාත්‍ය මණ්ඩලය දැනුවත් කර ඇත.

ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවීමේ ක්‍රමවේදය යටතේ ඉදිරිපත් වූ ලංසු අතරින්, ඉහළ මට්ටමේ ප්‍රසම්පාදන කමිටුව විසින් නිර්දේශ කර ඇති සාරානුකූලව ප්‍රතිචාරාත්මක අවම ලංසුකරු වන M/s Indo-East Engineering & Construction (Lanka) (Private) Limited සහ Ceylex Engineering (Private) Limited Joint Venture වෙත මෙම කොන්ත්‍රාත්තුව පිරිනැමීමට බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදී තිබේ.

කොන්ත්‍රාත්තුවේ වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 3.04ක් සහ ශ්‍රී ලංකා රුපියල් මිලියන 2,796.14ක් වන අතර, එම මුදල් එකතු කළ අගය මත බද්දෙන් තොර වේ.