වී අලෙවි මණ්ඩලය සතු වී, සතොස හරහා සහල් කර වෙළෙඳපොළට

වී අලෙවි මණ්ඩලය සතු වී, සතොස හරහා සහල් කර වෙළෙඳපොළට

August 11, 2026   01:59 pm

වී අලෙවි මණ්ඩලය සතු වී තොග, සමුපකාර තොග වෙළෙඳ සංස්ථාව (සතොස) මගින් සහල් බවට පත්කර වෙළෙඳපොළට නිකුත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

අද (11) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, 2026-07-22 දින පවත්වනු ලැබූ 34 වන ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටු රැස්වීමේදී රජය මඟින් වී මිලදී ගැනීමේ ක්‍රියාවලියට සඳහා පහසුකම් සැලසීම අරමුණු කර ගනිමින් ගනු ලැබී තීරණයට අනුව මෙය ක්‍රියාත්මක කරන බවය.

එම නිර්දේශ මත පදනම්ව පියවර කිහිපයක් ගැනීම සඳහා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය සහ වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය මෙලෙස අනුමත කර ඇත.

ඒ අනුව වී අලෙවි මණ්ඩලය සතු වී තොගයෙන් වී මෙට්‍රික්ටොන් 30,000ක් සතොස මඟින් සහල් බවට පත් කෙරේ.

එලෙස සහල් බවට පත්කෙරෙන තොගය කිලෝ 5, කිලෝ 10, කිලෝ 25 සහ කිලෝ 50 ඇසුරුම් ලෙස සැපයීම සඳහා සතොස විසින් විසින්, වී අලෙවි මණ්ඩලය යටතේ ලියාපදිංචි වී ඇති වී මෝල් හිමියන් වෙතින් අභිලාෂ කැඳවනු ලබයි.

2025-12-15 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය අනුව වී අලෙවි මණ්ඩලය, සමූපකාර තොග වෙළෙඳ සංස්ථාව, සීමාසහිත ලංකා සතොස, ජාතික පසු අස්වනු කළමනා කරණ ආයතනය සහ හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනය යන ආයතනවල නිලධාරින්ගෙන් සමන්විතව පත් කරනු ලැබ ඇති මිල කමිටුව විසින් වී, සහල් බවට පරිවර්තන අනුපාතය සහ සහල් සඳහා සුදුසු මිල තීරණය කරනු ලැබේ.

නිෂ්පාදනය කරනු ලබන සහල්, සීමාසහිත ලංකා සතොස, සමුපකාර ජාලය සහ පුද්ගලික පාර්ශ්වයන් මඟින් වෙළෙඳපොළට නිකුත් කිරීමට කටයුතු යොදා ඇත.