හෝමාගම කුලී රථ රියදුරු ඝාතනයේ සුල මුල හෙළිවෙයි

හෝමාගම කුලී රථ රියදුරු ඝාතනයේ සුල මුල හෙළිවෙයි

July 26, 2026   12:29 pm

දිවයින පුරා ප්‍රදේශ රැසකදීම ආයුධ පෙන්වා පුද්ගලයින් බිය ගන්වා කොල්ලකෑම් සිදුකළ සැකකරුවෙකු දීර්ඝ විමර්ශනයකින් අනතුරුව අත්අඩංගුවට ගැනීමට හෝමාගම පොලිසිය සමත් ව තිබේ.

සැකකරු පනාගොඩ යුද හමුදා කඳවුරේ ක්‍රීඩා අංශය භාර හමුදා නිලධාරියෙක් වශයෙන් කටයුතුකර ඇති අතර පසුගියදා හෝමාගම ගලගාහේන ප්‍රදේශයේ කුලී යතුරුපැදි රියදුරා ගෙල කපා ඝාතනය කිරීමේ සිදුවීමටද මොහු සම්බන්ධ බවට අනාවරණ වී ඇත.

හෝමාගම, ගලගාහේන ප්‍රදේශයේ ඇළ මාර්ගයක තිබී ජුලි 16 වැනිදා අලුයම් කාලයේදී කුලී රිය ධාවනයේ යෙදෙන යතුරුපැදිකරුවෙකුගේ මළ සිරුරක් සොයාගැනුණි.

පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණ වූයේ එය, ගෙල කපා සිදුකරන ලද සාහසික මනුෂ්‍ය ඝාතනයක් බවය.

එහිදී ඝාතකයන් විසින් මියගිය පුද්ගලයාගේ යතුරුපැදිය, රන් මාලය, ජංගම දුරකථනය සහ මුදල් පසුම්බිය ද කොල්ලකා පලාගොස් තිබුණි.

මේ ආකාරයේ කොල්ලකෑම් රැසක් හෝමාගම ප්‍රදේශයෙන් වාර්තා වීම හේතුවෙන් මෙම ඝාතනය සම්බන්ධයෙන් හෝමාගම මූලස්ථාන පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති සමන් ගමගේ මහතාගේ අධික්ෂණය යටතේ විමර්ශන ආරම්භ කළේ අපරාධය සිදුවූ ස්ථානයේ තිබූ CCTV දර්ශන උපයෝගී කරගනිමිනි.

එම CCTV දර්ශන පරීක්ෂාවේදී අනාවරණ වූයේ ඝාතනය වූ කුලීයතුරුපැදි රියදුරා තවත් පුද්ගලයෙක් නංවාගෙන අපරාධය සිදුවූ ස්ථානයට පැමිණෙන බවය.

ඒ අනුව සිදුකළ විමර්ශනයේදී හෙළි වී ඇත්තේ එම පුද්ගලයා යතුරුපැදිකරු සමඟ එම ස්ථානයට පමිණ ඔහු ඝාතනය කර මෙම කොල්ලකෑම සිදුකර ඇති බවය.

එමෙන්ම තවත් පුද්ගලයෙකු පැමිණ ඝාතනයට ආධාර අනුබල දී ඇතැයි හෙළි වී තිබේ.

පසුව තහවුරු වී ඇත්තේ මෙම සැකකරුවන් දෙදෙනා පියා සහ පුත්‍රයා වන බවය.

ඝාතනය සිදුකළ දිනට පසුදින අදාළ යතුරු පැදියෙන් මෙම සැකකරුවන් මොරගහහේන ප්‍රදේශයට ගොස් කාන්තාවකට තියුණු ආයුධ පෙන්වා බිය ගන්වා ඇයගේ රන් මාලය කොල්ලකා ඇති බව ද හෙළි වී ඇත.

එමෙන්ම ඔවුන් නැවත හෝමාගම ප්‍රදේශයේම කොල්ලකෑමක් සඳහාත් මෙම යතුරුපැදිය යොදාගෙන ඇති බව විමර්ශන නිලධාරින් විසින් තහවුරු කරගනු ලැබීය.

මෙම සැකකරුවන්ගෙන් එක් අයෙක් හෝමාගම පිටිපන ප්‍රදේශයේ නිවසක රැඳී සිටින බවට රහසිගත තොරතුරක් ලැබීමත් සමඟ ක්‍රියාත්මක වූ විමර්ශන නිලධාරින් එහිදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු සන්තකයේ තිබී දේශීය නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් මෙන්ම හෙරොයින් 500mg ක ප්‍රමාණයක්ද විමර්ශන නිලධාරින් භාරයට ගෙන තිබේ.

එසේම එම සැකකරු පුත්‍රයා බවත් ඔහු තම පියා සමඟ එකතු වී මෙම අපරාධයන් සිදුකර ඇති බවත් පොලිසිය තහවුරු කරගෙන ඇත.

සැකකරුගේ නිවසේ තිබී දිවයිනේ විවිධ ප්‍රදේශවල අපරාධය සිදුකිරීම සඳහා යොදාගත් යතුරු පැදියක් සහ ලේ තැවරුණු යතුරු පැදි හිස්වැස්මක්ද සොයාගෙන තිබේ.

දරුවන් වඩාගෙන සිටින කාන්තාවන්ගෙන් මොවුන් කොල්ලකෑම් බහුල ලෙස සිදුකර ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරු ඒ සෑම අවස්ථාවකදීම පාහේ ලා නිල් පැහැති ඩෙනිම් කලිසමකින් සැරසී සිට ඇති බවටත් අනාවරණ විය.

අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධයෙන් අවිස්සාවේල්ල, ගිරිඋල්ල, දෙහිඕවිට යන ප්‍රදේශවල මෙන්ම හෝමාගම ප්‍රදේශයේ ද ආයුධ පෙන්වා කොල්ලකෑම් සිද්ධි 4ක් වාර්තා වන බව විමර්ශන නිලධාරින් අද දෙරණට සඳහන් කළේය.

සැකකරු පනාගොඩ යුද හමුදා කඳවුරේ ක්‍රීඩා අංශය භාර හමුදා නිලධාරියෙක් වශයෙන් කටයුතුකර ඇති අතර අපරාධයන් සඳහා ආයුධ සහිතව පියා සමඟ යතුරු පැදියෙන් යාමේදී සිය යුද හමුදා හැඳුනුම්පත පෙන්වා පොලිස් මුරපොළවල්වලින් කිසිදු අවහිරයකින් තොරව ගමන්කර ඇති බවද වාර්තා වේ.

අත්අඩංගුවට ගත් සැකකරු ඊයේ (25) හෝමාගම වැඩබලන මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 07ක් සැකකරු රඳවාගෙන ප්‍රශ්න කිරීමට හෝමාගම පොලිසියට අවසර හිමිවිය.

මෙම අපරාධයන්වලට මුල් වූ ප්‍රධාන සැකකරු සොයා හෝමාගම මූලස්ථාන පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති සමන් ගමගේ මහතාගේ අධික්ෂණය යටතේ විට පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.