ව්‍යාජ පොලිස් ඇමතුම් සහ මූල්‍ය වංචා පැමිණිලි කිරීමට හදිසි දුරකථන අංක මෙන්න
July 23, 2026 07:15 am
පොලිස් නිලධාරීන්ගේ ඡායාරූප භාවිත කරමින් හා ව්‍යාජ ලෙස පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් සමාජ මාධ්‍ය ජාලා හරහා සිදුකරනු ලබන මූල්‍ය වංචා සම්බන්ධයෙන් දැනුම්දීම සඳහා පොලීසිය විසින් දුරකථන අංක කිහිපයක් හඳුන්වා දී තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ මෙම වංචා සම්බන්ධයෙන් මීට පෙර අවස්ථාවලදී දැනුම්වත් කර තිබුණ ද අදාළ වංචාවන්ට ජනතාව යළි යළිත් හසුව ඇති බවට නිරීක්ෂණය වන බවය.
පරිගණක හෝ ජංගම දුරකථන යොදාගෙන පොලිස් නිලධාරීන්ගේ ඡායාරූප දැක්වෙන ව්‍යාජ ලෙස සකස් කරන ලද වට්ස් ඇප් ගිණුම් සහ ටෙලිග්‍රෑම් ගිණුම් ආදිය භාවිත කරමින් මෙම වංචා සිදුකර ඇති බව සඳහන් වේ.
පොලීසිය කිසිදු විමර්ශනයක් සඳහා මහජනතාවගෙන් මුදල් අය කිරීමක් සිදුනොකරන අතර එවැනි වංචනික පුද්ගලයින් හෝ කණ්ඩායම් පිළිබදව දැනුම්දෙන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත.
ඒ අනුව පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාශයේ අධීක්ෂණ නිලධාරීන්ගේ 071 859 2918, 071 859 1765 යන දුරකථන අංකවලට හෝ 0112 300 756 යන දුරකථන අංකය වෙත අදාළ පැමිණිලි ඉදිරිපත් කරන ලෙස පොලීසිය දැනුම්දී තිබේ.
