රෝගීන් 15ක් ඝාතනය කළ වෛද්‍යවරයෙකුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්
July 8, 2026 09:42 pm
සිය භාරයේ සිටි අසාධ්‍ය රෝගීන් 15 දෙනෙකු ඝාතනය කිරීමේ වරදකරු වූ 41 හැවිරිදි ජර්මානු ජාතික සහන සේවා වෛද්‍යවරයෙකුට එරට අධිකරණයක් විසින් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කර තිබේ.
ජර්මානු රහස්‍යතා නීතිවලට අනුව 'ජොහැන්නස් එම්.' (Johannes M.) ලෙස හඳුන්වා දුන් මෙම වෛද්‍යවරයා, 2021 සැප්තැම්බර් සහ 2024 ජූලි අතර කාලය තුළ කාන්තාවන් 12 දෙනෙකු සහ පිරිමින් තිදෙනෙකු ඝාතනය කර ඇති බව අධිකරණයේදී ඔප්පු වී ඇත.
කෙසේ වෙතත්, බලධාරීන් විශ්වාස කරන්නේ මෙය මෙම මහා පරිමාණ අපරාධ වැලක ආරම්භය පමණක් විය හැකි බවය.
ඔහු සම්බන්ධ තවත් සැකකටයුතු මරණ 76ක් පිළිබඳව පැමිණිල්ල මේ වන විටත් විමර්ශනය කරමින් පවතින අතර, ඒවාද ඔප්පු වුවහොත් මෙය ජර්මානු ඉතිහාසයේ දරුණුතම අනුක්‍රමික මිනීමැරුම් සිදුවීමක් වනු ඇත.
ඝාතනයට ලක්වූවන් වයස අවුරුදු 25ත් 94ත් අතර පසු වූවන් වේ.
ඔවුන් බේරාගත නොහැකි බරපතළ රෝගාබාධවලින් පෙළුණද, ඔවුන්ගේ මරණය ආසන්නව තිබූ ඒවා නොවන බව අධිකරණයේදී අනාවරණය විය.
වෛද්‍යවරයා රෝගීන්ගේ නිවෙස් වෙත ගොස්, ඔවුන්ගේ කිසිදු කැමැත්තකින් තොරව මාරාන්තික ඖෂධ සංයෝග ශරීරගත කර මෙම ඝාතන සිදුකර තිබේ.
ඇතැම් අවස්ථාවලදී සිරුරු සහ සාක්ෂි වසන් කිරීම සඳහා ඔහු රෝගීන්ගේ නිවෙස්වලට ගිනි තැබීමට ද උත්සාහ කර ඇත.
2024 ජූලි මාසයේදී ඔහු අත්අඩංගුවට පත්වීමට සුළු මොහොතකට පෙරද පැය කිහිපයක් ඇතුළත වයෝවෘද්ධ රෝගීන් දෙදෙනෙකු ඝාතනය කර තිබුණි.
වසරක් පුරා ඇදී ගිය නඩු විභාගයේදී නිහඬව සිටි වෛද්‍යවරයා, පසුගිය මාසයේදී රෝගීන් 12 දෙනෙකු මැරූ බවට පාපොච්චාරණය කළේය.
"මම හිතුවේ මම කරන්නේ නිවැරදි දේ කියලා. ඔවුන්ව රෝග පීඩාවලින් සහ දුක්විඳීමෙන් මුදවා ගැනීම හැමෝටම හොඳම දේ කියලා මම මාවම රවටා ගත්තා," යැයි ඔහු අධිකරණය හමුවේ පවසා සිටියේය.
නඩු විභාගය අතරතුර වින්දිතයන්ගේ ඥාතීන් දැඩි සංවේගයෙන් යුතුව සාක්ෂි ලබා දී ඇති බව සඳහන් වේ.
2021 දී මියගිය 25 හැවිරිදි තරුණියගේ මව කඳුළු සලමින් කියා සිටියේ තම දියණියට කිසිදා ජීවිතය එපා වී නොතිබූ බවය. තවත් වින්දිතයෙකුගේ පුතෙකු පැවසුවේ තම 72 හැවිරිදි මව මියයන්නට පෙර සිය සහෝදරිය සමඟ සංචාරයක නිරත වීමට සැලසුම් කරමින් සිටි බවත්, ඇයට තවදුරටත් ජීවත් වීමේ දැඩි වුවමනාවක් තිබූ බවත්ය.
සියලු කරුණු සලකා බැලූ අධිකරණය වෛද්‍යවරයාගේ වරද බරපතළ ගණයේ ලා සලකමින්, ඔහුගේ සිරදඬුවම් කාලයෙන් පසුවද ඔහුව ආරක්ෂිත රැකවරණ යටතේ රඳවා තැබීමට නියෝග කළේය.
එමෙන්ම ඔහුට ජීවිතාන්තය දක්වා වෛද්‍ය වෘත්තියේ නිරත වීම ද තහනම් කෙරිණි.
