ශ්‍රව්‍යාබාධිත කාන්තා T20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ ජය ඉන්දියාවට
July 8, 2026 05:52 pm
ශ්‍රව්‍යාබාධිත කාන්තා T20 තරඟාවලිය මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී අද (08) ආරම්භ කෙරුණි.
මෙම තරඟාවලිය අද සිට එළැඹෙන 13 වැනිදා දක්වා මොරටුව, ද සොයිසා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
තරග පහකින් සමන්විත මෙම තරගාවලියේ අද පැවති පළමු තරඟයේ කාසිය වාසිය දිනාගත් ශ්‍රී ලංකා පිල ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර එහිදී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් කඩුලු 7ක් දැවී ලකුණු 76ක් රැස්කර ගැනීමට සමත් වී තිබේ.
මෙම ඓතිහාසික ජාත්‍යන්තර තරඟාවලිය ක්‍රිකට් ක්‍රීඩාවෙන් කැපී පෙනෙන රටවල් දෙකක් වන ශ්‍රී ලංකාව සහ ඉන්දියාව සමඟ පැවත්වෙන අතර ශ්‍රී ලංකාවේ කාන්තා ජාත්‍යන්තර බිහිරි ක්‍රිකට් තරඟාවලියක් පැවැත්වෙන පළමු වතාව මෙය වේ.
2026 කාන්තා T20 ජාත්‍යන්තර ශ්‍රව්‍යාබාධිත ක්‍රිකට් තරඟාවලියේ සමාරම්භක උත්සවය අද මොරටුව මහ නගර සභාවේ නගරාධිපති නිශාන්ත ප්‍රදිනාන්දු, ශ්‍රී ලංකා ශ්‍රව්‍යාබාධිත ක්‍රිකට් සංගමයේ සභාපති එම් නසීර්, බිහිරි විද්‍යාලයේ විදුහල්පති අනූෂා ප්‍රානාන්දු සහභාගිත්වයෙන් පැවැත්විණි.
මෙරට ශ්‍රව්‍යාබාධිත ක්‍රිකට් සංගමය මගින් මෙම ජාත්‍යන්තර තරඟාවලිය සංවිධානය කර ඇති අතර බිහිරි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (DICC) සහ ආසියානු බිහිරි ක්‍රිකට් සංගමය (ADCA) සමඟ අනුබද්ධව, ජාතික හා ජාත්‍යන්තර වශයෙන් බිහිරි ක්‍රිකට් සංවර්ධනය සහ ප්‍රවර්ධනය කිරීමේදී තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරනු ලබයි.
මෙම තරඟාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දිල්ෂානි වික්‍රමසිංහ විසින් දරනු ලබන අතර කාජල් දවාන්ගේ නායකත්වයෙන් ඉන්දියානු කණ්ඩායම ක්‍රීඩා කරනු ලබයි.
