අක්ෂි සැත්කම්වලින් පසු පෙනීම අහිමි වූ තවත් රෝගින් 4 දෙනෙකුට වන්දි
July 7, 2026 02:29 pm
අක්ෂි සැත්කම්වලින් පසු ප්‍රෙඩ්නිසිලෝන් ඇසිටේට් ඖෂධ්‍ය ලබා දීමෙන් අනතුරුව පෙනීම අහිමි වූ රෝගීන් සඳහා වන්දි ලබා දීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
ඒ අනුව එක් රෝගියෙකුට රුපියල් මිලියනයක් බැගින් වන සේ වන්දි ලබා දීමට මෙහිදී තීරණය වී ඇත.
පසුගිය 2023-03-03 සහ එම වසරේම මැයි මස 16 වැනි දින අතර කාලය තුළ එම ඖෂධය භාවිත කිරීම හේතුවෙන් නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ අක්ෂි සැත්කම් සඳහා භාජනය වූ රෝගීන් කිහිප දෙනෙකුගේ පෙනීම අහිමි වී හෝ තවදුරටත් දුවර්වල වීමේ සිදුවීම් වාර්තා වී තිබුණි.
ඒ පිළිබඳව පැවැති විමර්ශනයක ප්‍රතිඵල මත පදනම්ව නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේහි අක්ෂි ශල්‍යකර්මයන්ට බඳුන් වීමෙන් පසු දෘෂ්ටිය අහිමි වූ රෝගීන් 17 දෙනෙකු සඳහා මේ වන විට වන්දි ලබා දී තිබේ.
ඊට අමතරව අදාළ කාලය තුළදීම නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල ඇර අනෙකුත් රෝහල්වල අක්ෂි සැත්කම්වලට භාජනය වීමේදී එම ඖෂධය භාවිත කිරීම හේතුවෙන් අක්ෂි ආබාධයන්ට ලක්වී ඇති රෝගීන් සම්බන්ධයෙන් පරීක්ෂා කර බලා වාර්තා කිරීම පිණිස පත් කරන ලද තාක්ෂණික කමිටුව විසින් අනධභාවයට පත් තවත් රෝගීන් 04 දෙනෙකු සඳහා වන්දි ලබා දීමට නිර්දේශ කර තිබේ.
ඒ අනුව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද කරුණු සැලකිල්ලට ගෙන එකී රෝගීන් සිව්දෙනා සඳහා එක් රෝගියෙකුට රුපියල් මිලියනයක් බැගින් ලෙස වන්දි ලබා දීම පිණිස අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබා දීමට තීරණය කර ඇත.
