සලේට අධිකරණයෙන් නියෝගයක්

සලේට අධිකරණයෙන් නියෝගයක්

July 1, 2026   07:08 pm

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදාළ විමර්ශනවලට සහය දැක්වීමක් ලෙස සිය ජංගම දුරකථනයේ සහ ලැප්ටොප් පරිගණකයේ මුරපද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදෙන ලෙස රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජනරාල් සුරේෂ් සලේ මහතාට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (1) නියෝග කළේය.

මේ අතර සලේ මහතා සම්බන්ධයෙන් වූ විමර්ශනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වත්මන් අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලිස්පති ශානි අබේසේකර මහතාගෙන් ඉවත්කරන ලෙස ඔහුගේ නීතිඥයින් කර තිබූ ඉල්ලීමද කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීය.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරල් සුරේෂ් සලේ මහතා ඇතුළු සැකකරුවන් දෙදෙනෙකුට එරෙහිව ගොනුකර ඇති නඩුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී මෙලෙස කැඳවීය.

එහිදී පැමිණිල්ල සහ විත්තිය මීට පෙර අධිකරණයෙන් කර තිබූ ඉල්ලීම් කිහිපයකට අදාළ නියෝග කොටුව මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා ප්‍රකාශයට පත්කළේය.

"මෙම නඩුවට අදාළව සැකකරුගේ නීතිඥයින් අධිකරණයෙන් කර තිබූ ඉල්ලීමක් තමයි සිය සේවාදායකයා සම්බන්ධයෙන් විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වත්මන් අධ්‍යක්ෂවරයාගෙන් ඉවත්කරලා වෙනත් විමර්ශන අංශයකට පවරන්න කියන ඉල්ලීම. 

සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් භාරයට පත්කරලා තියෙන්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ විධිවිධාන ප්‍රකාරව ආරක්ෂක අමාත්‍යවරයා නිකුත් කළ නියෝගයන්ට අනුව. 

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව නිකුත්කරන රැඳවුම් නියෝගයක් රිට් නඩුවකදී හෝ මූලික අයිතිවාසිකම් නඩුවකදී හැර මෙම අධිකරණයට ප්‍රශ්න කිරීමේ බලයක් නැහැ. 

එසේම ඉතාම සංකීර්ණ විමර්ශනයක් මේ අවස්ථාව වෙද්දි නීතිපතිවරයාගේ අධීක්ෂණය යටතේ විමර්ශන නිලධාරීන්  කාර්යක්ෂමව කරගෙන යන බව අධිකරණයට පෙනී යනවා. සැකකරු 2026 මාර්තු 24 වෙනිදා පූර්වගාමි විනිසුරුතුමා හමුවේ කියලා තියෙනවා 'විමර්ශන කණ්ඩායම් මට හොඳින් සලකනවා. එක මට සහනයක් කියලා.' 

ඒ අනුව සැකකරුගේ ප්‍රකාශයෙන්ම පෙනීයනවා මෙම විමර්ශනය වත්මන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාගෙන් ඉවත් කිරීමට මෙම අවස්ථාවේ හේතුවක් නැහැ කියලා".

"මීළඟට රැඳවුම් භාරයේ සිටින සැකකාර සුරේෂ් සලේට නිවසින් ලබාදෙන පොත්පත්, නඩු ලේඛන කියවීමට අවස්ථාව ලබාදෙන ලෙස සහ සටහන් තැබීමට අවස්ථාව දෙන ලෙස කළ ඉල්ලීම. 

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මතය වන්නේ මේ සැකකරු ජීවිතය හානි කරගැනීමේ අරමුණකින් මාරාන්තික උපවාසයක නිරත වූ අයෙක් වන බැවින් ඔහුට ඔහුට පෑනක්, පැන්සලක් වැනි ජීවිතයට හානිකරගත හැකි අන්දමේ උපකරණයක් ලබා නොදිය යුතුයි යන්න. 

ඒ වගේම ඉතාම සුක්ෂ්ම විමර්ශනයකට අදාළ රැදවූවෙකු බැවින් විමර්ශනයට බාධාවන අන්දමට බාහිර පාර්ශ්වය සමඟ රහසිගතව තොරතුරු හුවමාරු කිරීම වැළැක්වීමත් එම ඉල්ලීමට අවසර ලබානොදීමට හේතුවක්. 

සැකකරුගේ මානසික තත්ත්වය මත ඔහුට කියවීමට සුදුසු නිර්දේශිත පොත්පත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පුස්තකාලයෙන් ලබාදිය හැකි බව විමර්ශන නිලධාරීන් දැනුම් දී තිබෙනවා. එබැවින් මෙම ඉල්ලීමද ප්‍රතික්ෂේප කරනවා".

"එසේම සැකකරු, මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ ප්‍රකාශයක් සිදුකිරීමට කරන ඉල්ලීම සම්බන්ධයෙන් සැලකීමේදී අදාළ ප්‍රකාශය අපරාධ නඩු විධාන සංග්‍රහයේ 127 වගන්තිය ප්‍රකාරව කරන පාපොච්චාරණයක්ද යන්න පූර්වගාමි මහේස්ත්‍රාත්වරයා විමසා තිබෙනවා. 

නමුත් එය එවැන්නක් නොවන බවයි සැකකරුගේ පාර්ශ්වයෙන් සඳහන් කරන්නේ. එසේනම් අපරාධ උච්චාරණයක් නොවන අපරාධ නඩු විධාන සංග්‍රහයේ 127 වගන්තිය යටතේ වන වෙනත් ප්‍රකාශයක් කිරීමට මෙම අවස්ථාවේ සැකකරුට නෛතික හැකියාවක් නැහැ".

"සැකකරු අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නිකුත්කර ඇති නියෝගය ඉවත්කරන ලෙස පැමිණිල්ල කර ඇති ඉල්ලීම කෙරෙහි මීළඟට අවධානය යොමු කරනවා. සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් පුර්වගාමි මහේස්ත්‍රාත්වරයා කර ඇති නියෝගය වෙනස් කිරීමට මා බලාපොරොත්තු වන්නේ නැහැ. 
 

නමුත් සැකකරු භෞතිකව අධිකරණයට ඉදිරිපත් කිරීමට රැගෙන ඒම මගින් ඔහුගේ ජීවිතයට තර්ජනයක් එල්ලවීමට හැකියාවක් තිබෙනවා. ඒ අනුව  මින් ඉදිරියට නඩුව කැඳවන අවස්ථාවන්හි සැකකරු වීඩියෝ තාක්ෂණය ඔස්සේ ඉදිරිපත් කරන ලෙස නියෝග කරනවා".

මෙම නියෝග නිකුත් කිරීමෙන් අනතුරුව පැමිණිල්ල වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා ඉල්ලීමක් සිදුකළේය. 

"ස්වාමිනි මේ තුන්වැනි සැකකරු පසුගිය නඩුවාරයෙන් හරියටම දින දෙකකට පසුව උපවාසයක් පටන් ගත්තා. මුල් දිනවල CID යේ හොඳින් හිටපු සැකකරු 03 දෙනෙකුට එරෙහිව විදෙස් ගමන් තහනමක් ගත්තා විතරයි එකපාරට උපවාසයක් පටන්ගත්තා. 

මාසයක් ගතවුණා කිසිදු ප්‍රශ්න කිරීමක් කරන්න බැරිවුණා. නඩුව ඉවරවෙනකල් ඔහුව ජීවත්කරවන්න ඕන නිසාම ඉතා වටිනා විටමින් වර්ග අපි ඔහුගේ නාසයෙන් ඇතුල් කළා. දැන් ඔහුගේ කාලය හරිනිසාද කොහෙද අද උපවාසය නවත්වලා. 

දැන්වත් අපි ඔහුව CID එකට ගෙන්වාගෙන විමර්ශනය ඉදිරියට පවත්වාගෙන යායුතුයි. මොහු ස්වාමිනි හැකර්වරයෙක්. මොහුගේ දුරකථන සහ ලැප්ටොප් එක එකිනෙකට සම්බන්ධ කර තිබෙන්නේ. විමර්ශන කටයුතු සඳහා ඒවා විවෘත කිරීමට මුරපදය ලබාදෙන ලෙස මොහුට නියෝගයක් නිකුත් කරන්නැයි මා ඉල්ලා සිටිනවා".

කෙසේ වෙතත් එම ඉල්ලීමට සැකකාර සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පෙනී සිටී ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා සිය විරෝධය පළ කළේය.

"අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 ව්‍යවස්ථාව යටතේ සාධාරණ නඩු විභාගයකට ඇති අයිතිය, නිර්දෝෂීභාවයේ පූර්ව නිගමනය සහ නිහඬව සිටීමේ අයිතිය පිළිගෙන තිබෙනවා. 

එබැවින් ඒවා උල්ලංඝනයවන අන්දමට අපරාධ නඩු විධාන සංග්‍රහයේ 124 වගන්තිය ප්‍රකාරව මෙවැනි මුරපදය ලබාදෙන ලෙස නියෝග නිකුත් කිරීමේ හැකියාවක් නැහැ. මම කියා සිටින්නේ ඔබතුමාට එවැනි නියෝගයක් නිකුත් කිරීමේ නෛතික බලයක් නැහැ කියලා".

කෙසේ වෙතත් ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අපරාධ නඩු විධාන සංග්‍රහයේ 124 වගන්තිය ප්‍රකාරව විමර්ශනවලට සහාය දැක්වීම යන්න මුල්කරගනිමින් ජංගම දුරකථනයේ සහ ලැප්ටොප් පරිගණකයේ මුරපදය විමර්ශන නිලධාරීන්ට ලබාදෙන ලෙස රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාට නියෝග කළේය.

නඩුව සැප්තැම්බර් 02වැනිදා යළි කැඳවීමට නියමිතය.