හිටපු ඇමති ෆවුසිට එරෙහිව ඉදිරිපත් කළ පෙත්සමක විභාගය අවසන්
June 23, 2026 02:22 pm
නෙදර්ලන්ත රජය මගින් ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණ කටයුතු සඳහා ලබාදී තිබූ වාහනයක් සිය පෞද්ගලික පරිහරණය සඳහා යොදා ගැනීම තුළින් හිටපු අමාත්‍ය ඒ එච්.එම්. ෆවුසි මහතා මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර තිබෙන බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනු කෙරුණු පෙත්සමක විභාගය ශ්‍රේෂ්ඨාධිකරණය අද (23) අවසන් කළේය.
ඉන් අනතුරුව එම නඩුකරයේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම කල් තබන බවත් අධිකරණය නියෝග කර තිබේ.
අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, ජනක් ද සිල්වා සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගේ සමන්විත ත්‍රී පුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම් විභාගය පැවැත්වුණි.
මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණේ ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපතිවරයකු වන චන්ද්‍රා ජයරත්න මහතා විසින්ය.
පෙත්සම විභාගයට ගත් අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් නීතිඥ අමිල කුමාර මහතාගේ උපදෙස් මත කරුණු දැක්වූ නීතිඥ දිලුමි ද අල්විස් මහත්මිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණ කටයුතු නගා සිටුවීම සඳහා නෙදර්ලන්ත රජය විසින් ණය පදනම මත මෙම නඩුකරයට පාදකවන වාහනය ශ්‍රී ලංකා රජය වෙත ලබාදී තිබූ බව පවසා තිබේ.
සුනාමි ආපදා පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ කටයුතු සඳහා එම වාහනය ලබාදී තිබුණද විෂය භාර අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ ඒ එච්.එම්.සී මහතා එය සිය පෞද්ගලික පරිහරණයට වසර පහක් පමණ භාවිත කර තිබූ බවත් නීතිඥවරිය චෝදනා කර ඇත.
මෙහිදී අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින්" මෙම සිද්ධියට අදාළව වග උත්තරකරුට එරෙහිව අල්ලස් කොමිසම මහාධිකරණය හමුවේ චෝදනා ගොනු කර ඇති අතර එම චෝදනාවලට ඔහු වරද පිළිගෙන තිබේ.
ඒ අනුව මෙම නඩුකරය මෙම පවත්වාගෙන යාමේ පදනම කුමක්දැයි විමසා ඇත.
ඊට පිළිතුරු දෙමින් පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරිය කියා සිටියේ පෙත්සම්කරු වරද පිළිගෙන තිබෙන්නේ අපරාධ නීතිය යටතේ ගොනු කළ චෝදනාවලට බවයි.
එහෙත් මෙම නඩුකරය මූලික අයිතිවාසිකම් නඩුකරයක් බවත් ඇය පෙන්වා දුන්නා.
මෙහිදී වග උත්තරකාර හිටපු අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණ කටයුතු සඳහා ණය පදනම මත ලබාදුන් වාහනයක් සිය පෞද්ගලිකව පරිහරණයට ගෙන තිබෙන බව පෙන්වා දුන් නීතිඥවරිය ඒ හරහා ඔහු බදු ගෙවන්නන්ගේ බදු මුදල් අයථා ලෙස අවභාවිතයට ලක් කර තිබෙන බවටත් චෝදනා කර ඇත.
ඊට අමතරව "මහජන භාරය" නැමැති බරපතල වගකීමද ඔහු විසින් උල්ලංඝනය කර තිබෙන බවත් නීතිඥවරිය පෙන්වා දී ඇත.
ඒ නිසා මෙම ක්‍රියාව තුළින් අමාත්‍යවරයා රජයට සිදුකළ පාඩුව අයකර ගැනීමේ අරමුණින් මහජන සුභසාධන නඩුකරයක් වශයෙන් මෙම නඩුව ඉදිරිපත් කිරීමට පෙත්සම්කරු කටයුතු කළ බවත් නීතිඥවරිය කරුණු පෙන්වා දී තිබේ.
ඉන් අනතුරුව වග උත්තරකාර ෆවුසි හිටපු අමාත්‍යවරයා වෙනුවෙන් නීතිඥ රම්සි බාචා මහතාගේ උපදෙස් මත නීතිඥ රුවන්ත කුරේ මහතා කරුණු ඉදිරිපත් කර ඇත.
ආපදා කළමනාකරණ කටයුතු සඳහා ලබා දී තිබූ වාහනයක් සිය සේවා දායකයා පෞද්ගලිකව පරිහරණය කළ බවට පෙත්සම්කාර පාර්ශවය විසින් එල්ල කරන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බවත් නීතිඥවරයා පවසා ඇත.
මේ අවස්ථාවේදී අගවිනිසුරුවරයා වග උත්තරකාර පාර්ශවයේ නීතිඥවරයා වෙත ප්‍රශ්නයක් යොමු කරමින් "මේ සිද්ධියට අදාළව වගඋත්තරකරුට එරෙහිව අල්ලස් කොමිසම විසින් දූෂණ චෝදනා යටතේ නඩුවක් මහාධිකරණට ඉදිරිපත් කරා. වග උත්තරකරු ඒ චෝදනාවලට වරද පිළිගෙන තිබෙනවා. ඒ අනුව ඔහු දූෂණ චෝදනාවලට වැරදිකරු වී තිබෙනවා." එසේ තිබියදී ඔහුට එම වගකීමෙන් බැහැර විය හැකිදැයි විමසා සිටියා.
ඊට පිළිතුරු දෙමින් කරුණු දක්වූ නීතිඥ රුවන්ත කුරේ මහතා සඳහන් කර සිටියේ වගඋත්තරකරු විසින් මෙම වාහනය භාවිතා කළේ අමාත්‍යංශ ලේකම්වරිය විසින් කරනු ලැබූ නියෝගයකට අනුව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් එය මුදාහැරීමෙන් පසුව බවයි.
ප්‍රමාණවත් වාහන පහසුකම් අමාත්‍යාංශය තුළ නොතිබීම නිසා මෙම වාහනය අමාත්‍යාංශ ලේකම්වරියගේ නියමය පරිදි භාවිත කිරීමට සිදුවූ බවත් එය කිසිදු අවස්ථාවක පෞද්ගලික පරිහරණයට ගෙන නොමැති බව පෙන්වා දුන් නීතිඥවරයා හිටපු අමාත්‍යවරයා විසින් එය භාවිතා කර තිබෙන්නේ සිය රාජකාරීමය කටයුතු සඳහා පමණක් බවත් පෙන්වා දුන්නා.
දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල පෙත්සම් විභාගය අවසන් කිරීමට තීන්දුකළ අතර ලිඛිත දේශන තිබේ නම් ඒවා අද සිට සති දෙකක් ඇතුළත ගොනු කිරීමට පියවර ගන්නා ලෙසත් දෙපාර්ශ්වයේ නීතිඥවරුන්ට නියම කළා.
ඉන් අනතුරුව මෙම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම අධිකරණය විසින් දිනයක් නොමැතිව කල් තබා ඇත.
