වැල්ලවදී කාන්තාවකට වෙඩි

වැල්ලවදී කාන්තාවකට වෙඩි

June 23, 2026   02:54 pm

කුරුණෑගල, වැල්ලව ප්‍රදේශයේදී පුද්ගලයෙකු විසින් කාන්තාවකට වෙඩි තබා බරපතළ තුවාල සිදුකර තිබේ.

අද (23) උදෑසන 6.45ට පමණ සිදුකළ මෙම වෙඩි තැබීමෙන් තුවාල ලැබූ 46 හැවිරිදි කාන්තාව කුරුණෑගල රෝහලට ඇතුළත් කර ඇත.

පොලිසිය සඳහන් කළේ, වෙඩි තැබීම සිදුකර ඇත්තේ අදාළ කාන්තාව සමඟ මීට පෙර සබඳතාවක් පැවැත්වූ බව කියන පුද්ගලයෙකු විසින් බවට සැක කරන බවය.

අදාළ කාන්තාව මීට පෙර විදේශගතව සිට පැමිණි අවස්ථාවක එම පුද්ගලයා සමඟ ජීවත්ව ඇති බවත්, පසුව නැවත විදේශගතව පැමිණීමෙන් අනතුරුව දරුවන්ගේ ඉල්ලීම මත නීත්‍යානුකූල සැමියා සමඟ පදිංචිව සිට ඇති බවත් වාර්තා වේ.

ඒ අනුව, නීත්‍යානුකූල සැමියාගේ නිවසේ සිටියදී අනියම් සැමියා විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බව සඳහන්ය.

පොලිස් විමර්ශනවලට අනුව, සැකකරු නිවස ආසන්නයේ කැළෑ ප්‍රදේශයක සැඟවී වෙඩිතැබීම සිදුකර ඇති බව වාර්තා වෙයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.