හිටපු මලල ක්‍රීඩා ශූර W.G. ආරියසේන හදිසි අනතුරකින් දිවිසැරිය නිමා කරයි
June 13, 2026 01:29 pm
1970 සහ 80 දශකයන්හි ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ක්ෂේත්රය ජාත්‍යන්තරයට රැගෙන ගිය විශිෂ්ට දුර ධාවකයෙකු වූ විශ්‍රාමික මේජර් ඩබ්ලිව්.ජී. ආරියසේන මහතා අද (13) උදෑසන මාතලේ නගරයේ දී සිදුවූ හදිසි අනතුරකින් අභාවප්‍රාප්ත වී තිබේ.
මියයන විට 74 වන වියේ පසුවූ ඒ මහතා, මෙරට ක්‍රීඩා ඉතිහාසය වෙනුවෙන් ජීවිතයේ වැඩි කාලයක් කැපකළ ක්‍රීඩකයෙක්ය. ඩබ්ලිව්.ජී. ආරියසේන මහතා ශ්‍රී ලංකා නාමය ජාත්‍යන්තරය හමුවේ බැබළවූ කීර්තිමත් මලල ක්‍රීඩකයෙකු ලෙසද සැලකේ.
1982 වසරේ ඉන්දියාවේ පැවති 9 වන ආසියානු ක්‍රීඩා උළෙල සහ 1987 සිංගප්පූරුවේ පැවති 6 වන ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලිය නියෝජනය කරමින් ඔහු මව්බිමට අභිමානයක් ළඟා කර දුන්නේය.
1980 වසරේ සිට 1989 දක්වා වසර 9ක් පුරා මීටර් 1500 ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාවට හිමිකම් කීවේ ඔහුය.
1976 වසරේ සිට 1980 දක්වා නොකඩවා පස් වතාවක්ම ජාතික මැරතන් ශූරතාව දිනාගත් ඔහු, 1979 සිට 1984 දක්වා කාලය තුළ මීටර් 5000 සහ 10000 ඉසව්වන්හිද කැපී පෙනෙන දක්ෂතා දැක්වූහ.
70 දශකයේ අග භාගයේදී ශ්‍රී ලංකා යුධ හමුදාවේ සිංහ රෙජිමේන්තුවට (ස්වේච්ඡා බළකාය) එක්වෙමින් රට වෙනුවෙන් සේවය ආරම්භ කළ ඔහු, 1980 වසරේ දී ක්‍රීඩා අමාත්‍යාංශයේ ක්‍රීඩා නිලධාරිවරයෙක් වශයෙන් පත්වීම් ලැබීය.
ක්‍රීඩාවෙන් සමුගැනීමෙන් පසුවද නවක ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහිකිරීම වෙනුවෙන් සහ ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් ඔහු දැක්වූ දායකත්වය සුවිශේෂී වේ.
ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ විනිසුරුවරයෙකු මෙන්ම ජාතික තාක්ෂණික නිලධාරීවරයෙකු ලෙස වසර 35කට අධික කාලයක් ඔහු සිදුකළ අඛණ්ඩ සේවය සමස්ත ක්‍රීඩා ක්ෂේත්රයේම ගෞරවයට පාත්‍ර විය.
මාතලේ නාඋල ප්‍රදේශයේ පදිංචිව සිටි ඒ මහතා දියණියන් දෙදෙනෙකුගේ පියෙකි.
