බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩක නයීම්ට එරට පොලීසියෙන් ගුටි පූජාවක්
June 13, 2026 11:45 am
බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ දඟපන්දු යවන ක්‍රීඩක නයීම් හසන්ට එරට පොලිස් නිලධාරීන් පිරිසක් විසින් දරුණු සහ අමානුෂික පහරදී ඇති බව එරට මාධ්‍ය පවසයි.
ඊයේ (13) රාත්‍රියේ චැටෝග්‍රෑම්හිදී සිදු වූ මෙම අවාසනාවන්ත සිදුවීම මේ වනවිට බංග්ලාදේශ ක්‍රිකට් ක්ෂේත්‍රය දැඩි සේ කැලඹීමකට ලක්ව තිබේ.
තරගයකට සහභාගි වී ත්‍රීරෝද රථයකින් සිය නිවස බලා යමින් සිටි නයීම්ව, චැටෝග්‍රෑම්හි ලාල්ඛාන් බසාර් ප්‍රදේශයේදී පොලීසිය විසින් හේතුවක් නැතිව නවතා ඇත.
අනතුරුව ඔහුව බලහත්කාරයෙන් වෙනත් ත්‍රීරෝද රථයකට තල්ලු කරමින් පොලිස් ස්ථානය වෙත රැගෙන ගොස් ඇති බව වාර්තා වේ.
තමන් ජාතික ක්‍රිකට් ක්‍රීඩකයෙකු බව අවට සිටි පිරිස් සහ නයීම් විසින් ප්‍රකාශ කළද, පොලිස් නිලධාරීන් එය සම්පූර්ණයෙන්ම නොසලකා හැර තිබේ.
"මම කවුද කියලා ඔවුන්ට නැවත නැවතත් කිව්වා. නමුත් ඔවුන් මම කියන දේ ඇහුවේ නෑ. පොලීසිය මට අමානුෂික ලෙස පොලුවලින් සහ ප්ලාස්ටික් පයිප්පවලින් ගැහුවා.
පසුව පොලිස් ස්ථානයේදී මාව හඳුනා ගත් විට, ස්ථානාධිපතිවරයා මට කතා කරන අතරතුර ඔළුව පහත් කරගෙන සිටින ලෙස පැවසුවා. ඔවුන් ඇත්තටම පොලිස් නිලධාරීන් නම්, මාව පොලිස් වාහනයකට නොගෙන ත්‍රීරෝද රථයකට දාන්න හැදුවේ ඇයි?.
මට මුළු සිද්ධිය සම්බන්ධයෙන්ම සාධාරණ පරීක්ෂණයක් සහ යුක්තියක් අවශ්‍යයි."
මෙම පහරදීමට එරෙහිව බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය (BCB) වහාම ක්‍රියාත්මක වී ඇති අතර, සිදුවීම සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා වගකිවයුත්තන්ට දැඩි දඬුවම් පමුණුවන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.
එමෙන්ම බංග්ලාදේශ ක්‍රීඩකයින් රැසක් සිය සමාජ මාධ්‍ය ගිණුම් හරහා නයීම් වෙනුවෙන් හඬ අවදි කර ඇත. ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක මුෂ්ෆිකර් රහීම් මේ පිළිබඳව සිය දැඩි කනගාටුව සහ අප්‍රසාදය පළ කර තිබේ.
"නයීම්ට සිදුවූ දේ කිසිසේත්ම අනුමත කරන්න බෑ. නයීම්ට සිදු වූ දේ මට රිදවනවා, ඒ වගේම ලැජ්ජාවක් සේ දැනෙනවා. බංග්ලාදේශ පුරවැසියෙකු ලෙස මෙම සිදුවීමට විරෝධය පළ කරනවා. නයීම්, අපි ඔබ සමඟයි!"
සිද්ධිය සම්බන්ධයෙන් චැටෝග්‍රෑම් මෙට්‍රොපොලිටන් පොලිසියේ නියෝජ්‍ය කොමසාරිස් අමිරුල් ඉස්ලාම් ප්‍රකාශ කර සිටියේ, අදාළ සිදුවීමට සම්බන්ධ වැරදිකරුවන්ට එරෙහිව තරාතිරම නොබලා දැඩි විනය පියවර ගන්නා බවයි.
බ.ඉ. කොදෙව්වන්ට එරෙහිව 2018 වසරේදී ජාත්‍යන්තර ටෙස්ට් වරම් හිමිකරගත් නයීම්, මේ වනවිට ටෙස්ට් තරග 14කට ක්‍රීඩා කර තිබේ.
බංග්ලාදේශ කණ්ඩායම මේ මස අගදී සිදුකිරීමට නියමිත සිම්බාබ්වේ තරග සංචාරයේ එකම ටෙස්ට් තරගයට නම්කළ 15 දෙනෙකුගෙන් යුත් බංග්ලාදේශ සංචිතයටද 26 හැවිරිදි නයීම් නම් කර ඇත.
