හෝමුස් නැවත් විවෘත කිරීමට ඉරානයෙන් කොන්දේසි
June 7, 2026 10:41 pm
අමෙරිකානු හමුදා මැදිහත් වීම් නතර වූ පසුව ද, හෝමුස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීම සඳහා දින 30ක කාලසීමාවක් අවශ්‍ය බව ඉරාන සාම සාකච්ඡා කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු ප්‍රකාශ කර තිබේ.
ඉරානයේ අර්ධ රාජ්‍ය පුවත් ඒජන්සියක් වන 'Fars' පුවත් සේවය සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී ඉස්ලාමාබාද් සාකච්ඡා සඳහා සහභාගී වූ ඉරාන නියෝජිත මජිඩ් ෂකේරි මේ බව අනාවරණය කර ඇත.
පසුගිය පෙබරවාරි 28 වෙනිදා ආරම්භ වූ අමෙරිකානු-ඉස්රායල් ප්රහාරයන්ගෙන් පසු ඉරානය විසින් මෙම මුහුදු මාර්ගය වසා දැමීමට කටයුතු කළ අතර, ඊට ප්‍රතිචාර වශයෙන් අමෙරිකානු නාවික හමුදාව විසින් අප්‍රේල් මාසයේදී මෙම සමුද්‍ර සන්ධිය අවහිර කරමින් නාවික වටලීමක් ක්‍රියාත්මක කරන ලදී.
මේ අතර, හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන නෞකාවලින් සාගර සහ පාරිසරික සේවා ගාස්තු අය කිරීමේ යෝජනාවක් පිළිබඳව මේ වන විට සමාලෝචනය වෙමින් පවතින බව ඉරාන පරිසර දෙපාර්තමේන්තුවේ ප්‍රධානී ශීනා අන්සාරි මහත්මිය පවසා ඇත.
ඉරානයේ 'තස්නිම්' පුවත් සේවයට අදහස් දක්වමින් ඇය සඳහන් කළේ, මෙය හුදෙක් මුදල් එකතු කිරීමක් පමණක් නොවන අතර නාවික මාර්ගෝපදේශනය, සෙවීම් සහ මුදාගැනීමේ මෙහෙයුම්, නැව්වල ආරක්ෂාව තහවුරු කිරීම සහ සාගර පරිසරය ආරක්ෂා කිරීම වෙනුවෙන් සපයන සේවාවන් සඳහා අය කරන්නක් බවය.
විශේෂයෙන්ම ධාවනය වන නෞකාවලින් සාගර පරිසර පද්ධතියට සිදුවන හානිය සහ අවදානම සැලකිල්ලට ගෙන මෙම ගාස්තු තීරණය වන බවද ඇය සඳහන් කළාය.
අමෙරිකාව සහ ඉරානය අතර සාමසාකච්ඡා ඇනහිට ඇති පසුබිමක, මෙම ප්‍රධාන මුහුදු මාර්ගයේ වාණිජ නාවික ගමනාගමනය සැලකිය යුතු ලෙස අඩුවී ඇත.
සමුද්‍ර සන්ධියේ අනාගතය පිළිබඳ තවදුරටත් අවිනිශ්චිතතාවයක් පවතින නමුත්, ඕමානය සමඟ එක්ව මෙම සමුද්‍ර සන්ධියේ ස්වෛරීභාවය තමන් සතු බව ඉරාන බලධාරීන් නැවත නැවතත් අවධාරණය කරයි.
ඉරාන පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකුට අනුව, දැනට ඉරාන අවසරය ඇතිව හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන වාණිජ නෞකාවකින් සාමාන්‍යයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 1.5ත් 2ත් අතර දැවැන්ත ගාස්තුවක් අය කරනු ලබයි.
කෙසේ වෙතත්, වත්මන් යුදමය තත්ත්වයෙන් පසු කිසිදු කොන්දේසියකින් හෝ බදු අය කිරීමකින් තොරව මෙම ජාත්‍යන්තර මුහුදු මාර්ගය වාණිජ නැව් සඳහා සම්පූර්ණයෙන්ම විවෘත විය යුතු බවට අමෙරිකාව දැඩි ස්ථාවරයක පසුවේ.
