රංගගේ මරණය සියදිවි හානි කරගැනීමක් - අධිකරණයේදී හෙළිවෙයි

රංගගේ මරණය සියදිවි හානි කරගැනීමක් - අධිකරණයේදී හෙළිවෙයි

June 3, 2026   04:48 pm

මහා භාණ්ඩාගාරයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ රංග රාජපක්ෂ මහතාගේ සැක සහිත මරණය තමන් විසින්ම කැපුම් තුවාල සිදු කරගත් නිසා සිදුවූ මරණයක් බවට සිව් පුද්ගල කමිටුව ඒකමතිකව තීන්දු කළ බැව් අධිකරණ වෛද්‍ය නිලධාරී කමිටු සභාපති විශේෂඥ අධිකරණ වෛද්‍ය ඉලංගරත්න බණ්ඩා මහතා කුලියාපිටිය මහේස්ත්‍රාත් මිහිල් චිරන්තන සතරසිංහ මහතා ඉදිරියේ අද (03) සාක්ෂි ලබාදෙමින් පැවසීය.

මුදල් අමාත්‍යාංශය සතු අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක් වංචනිකයන් පිරිසක් අතට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් රංග රාජපක්ෂ මහතා වැඩතහනමට ලක්වී සිටියේය.

ඉකුත් නඩු වාරයේදී මරණකරුගේ බිරිඳ, දියණිය ඇතුළු පිරිසකගේ සාක්ෂි විභාගය පැවැත්වුණු අතර අද දිනයේ අධිකරණ වෛද්‍ය නිලධාරී ඉලංගරත්න බණ්ඩා, මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක කමල් රත්නායක, පොලිස් නිල සුනඛයා මෙහෙයවූ සැරයන් ඇතුළු විමර්ශකයින්ගෙන් සාක්ෂි ලබාගැනීම සිදු කෙරුණි.

එහිදී සාක්ෂි විභාගය මෙහෙයවූ වයඹ පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා, මරණකරුගේ ශරීරයේ තිබූ කැපුම් තුවාල සහ බලනහර පිළිබඳව වෛද්‍ය විද්‍යානුකූල පසුබිමද විමසා සිටියේය.

ඊට පිළිතුරු ලබාදුන් අධිකරණ වෛද්‍ය නිලධාරී ඉලංගරත්න බණ්ඩා මහතා බලනහර ලෙස බටහිර වෛද්‍ය විද්‍යාවේ හැඳින්වෙන ශරීරාංගයක් නොවන බවත් ඒ පිළිබඳව ආයුර්වේද වෛද්‍ය මහාචාර්යවරුන් සමගද සාකච්ඡා කළ බවත් දන්වමින් මෙම මෘතදේහය ඉතා සියුම් ආකාරයෙන් විච්ඡේදනය කරමින් පරීක්ෂණ පැවැත්වූ විශේෂඥ වෛද්‍යවරුන් සිව් දෙනාම මෙය තමන් විසින්ම කපාගන සිදුවූ තුවාල බවත් ඉන් රුධිර වහනයවීමේදී ඇතිවූ කම්පනය හේතුවෙන් සිදුවූ මරණයක් බවත් තීරණය කළ බව පැවසීය.

සාක්ෂි විභාගය මැදදී පෙන්වා සිටි මරණකරුගේ ඇඳුම්, සෙරෙප්පු හා පිහිය ද වෛද්‍යවරයා විසින් හඳුනාගත් අතර තුවාලවූ ස්ථානවල ඡායාරූප අධිකරණය භාරයට පත් කෙරුණි.

කෙසේවෙතත් රසපරීක්ෂක වාර්තාද පැමිණි පසු එහි ස්ථාවරයද සලකා අපරාධ නඩු විධිවිධාන සංග්‍රහයේ 30 වගන්තිය ප්‍රකාරව නියෝගයක් ලබාදෙන ලෙස එහිදී ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

කරුණු සැලකිල්ලට ගත් කුලියාපිටිය මහේස්ත්‍රාත් මිහිල් චිරන්තන සතරසිංහ මහතා නඩුව යළි එළඹෙන 12 වනදා කැඳවීමට නියම කළේය.