Art of Living ජාත්‍යන්තර පදනමේ ප්‍රධාන භාරකරු අග්‍රාමාත්‍ය ලේකම්වරයා හමුවෙයි

Art of Living ජාත්‍යන්තර පදනමේ ප්‍රධාන භාරකරු අග්‍රාමාත්‍ය ලේකම්වරයා හමුවෙයි

June 3, 2026   05:17 pm

Art of Living ජාත්‍යන්තර පදනමේ ප්‍රධාන භාරකරු ශ්‍රී ප්‍රශාන්ත් එස්. නායිර් මහතා අද (03) උදෑසන අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා හමුවී සාකච්ඡාවක් පවත්වා තිබේ.

ශ්‍රී ප්‍රශාන්ත් එස්. නායිර් මහතා ශ්‍රී ලංකාවට පැමිණ සිටින්නේ මෙරට රාජ්‍ය වෙසක් උත්සව සැමරුම් සඳහා සහභාගී වීමට සහ එම පදනම මඟින් ක්‍රියාත්මක කරනු ලබන ගෝලීය වැඩසටහන් පිළිබඳව ශ්‍රී ලාංකික බලධාරීන් දැනුවත් කිරීම සඳහාය.

අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා සහ ප්‍රශාන්ත් නායිර් මහතා අතර පැවැති මෙම හමුවේදී, ශ්‍රී ලංකාව සහ බැංගලෝර් පදනම් කරගත් මෙම සංවිධානය අතර සහයෝගීතාව වර්ධනය කරගත හැකි නව ක්ෂේත්‍ර පිළිබඳව අවධානය යොමු විය.

ගෝලීය සාම තානාපති, මානුෂීය සහ අධ්‍යාත්මික නායක ගුරුදේව් ශ්‍රී ශ්‍රී රවි ශංකර් මහතා විසින් ආරම්භ කරන ලද 'Art of Living' යනු ලොව පුරා රටවල් 180 කට වැඩි ගණනක ක්‍රියාත්මක වන සහ බිලියනයකට අධික අනුගාමිකයින් පිරිසක් සිටින ජාත්‍යන්තර ව්‍යාපාරයකි.

මෙම සාකච්ඡාව අතරතුරදී අග්‍රාමාත්‍ය ලේකම්වරයා කියා සිටියේ ශ්‍රී ලංකාවේ සමාජීය, ආර්ථික සහ මානව සංවර්ධනය වෙනුවෙන් මෙම පදනම සමඟ නව ක්ෂේත්‍ර ඔස්සේ එක්ව කටයුතු කිරීමට කැමති බවය.

ප්‍රධාන භාරකරු ප්‍රශාන්ත් නායිර් මහතා මෙරටට පැමිණියේ 'බුද්ධ රශ්මි' වෙසක් කලාප සංවිධායක කමිටුවේ විශේෂ ආරාධනයකට අනුවය.

එමෙන්ම ඔහු කොළඹ ගංගාරාම විහාරාධිපති, පූජ්‍ය ආචාර්ය කිරිඳේ අස්සජි ස්වාමින් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන 'බුද්ධ රශ්මි' වෙසක් මහෝත්සවයට ද විශේෂ අමුත්තෙකු ලෙස සහභාගී විය.