පැරණි ක්‍රමයට පළාත් සභා ඡන්දය තියන්න - විපක්ෂයේ පක්ෂ එකඟතාවක

පැරණි ක්‍රමයට පළාත් සභා ඡන්දය තියන්න - විපක්ෂයේ පක්ෂ එකඟතාවක

May 26, 2026   04:51 pm

පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම සහ එම මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන අතර විශේෂ සාකච්ඡාවක් අද (26) කොළඹදී පැවැත්විණි.

නිදහස් හා සාධාරණ මැතිවරණ සඳහා ජනතා ක්‍රියාමාර්ගය සංවිධානයේ මූලිකත්වයෙන් පැවති මෙම සාකච්ඡාව සඳහා දේශපාලන පක්ෂ ලේකම්වරුන්, පක්ෂ නියෝජිතයින් සහ මැතිවරණ නිරීක්ෂණ සංවිධාන නියෝජිතයින් එක්ව සිටියහ.

එහිදී පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ වැදගත්කම, එය දිගින් දිගටම කල් යාමට හේතු වූ කරුණු සහ කඩිනමින් මැතිවරණය පැවැත්වීම සඳහා ගත යුතු පියවර පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබේ.

සාකච්ඡාවට එක්වූ විපක්ෂ දේශපාලන පක්ෂ සහ නිරීක්ෂණ සංවිධාන 42 අතරින් එක් පක්ෂයක් හැර අනෙකුත් සියලු පාර්ශව එක් ඒකාබද්ධ ප්‍රකාශයකට අත්සන් තබා ඇති අතර, එම ප්‍රකාශය පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට සහ ආණ්ඩු පක්ෂයට යොමු කිරීමට ද තීරණය වී ඇත.

ඒකාබද්ධ ප්‍රකාශයට අනුව, 2017 අංක 17 දරණ පනතට පෙර පැවති මැතිවරණ ක්‍රමය යටතේ දැනට කල් දමා ඇති පළාත් සභා මැතිවරණ පැවැත්වීමට එකඟතාව පළ කර තිබේ. 

එමෙන්ම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ අවසන් තීරණය ලැබෙන තෙක් එම ක්‍රමය ක්‍රියාත්මක කිරීමට ද එකඟ වී ඇත.

තවද, ස්වේච්ඡා පදනමක් මත කාන්තා සහ තරුණ නියෝජනය සියයට 25ක් දක්වා සහතික කිරීමට ද පක්ෂ එකඟතාව පළ කර තිබේ.

මෙම අවස්ථාවට එක්සත් ජාතික පක්ෂ මහලේකම් තලතා අතුකෝරළ, සමගි ජන බලවේගය නියෝජනය කරමින් එහි මහලේකම් පා.ම රංජිත් මද්දුම  බණ්ඩාර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් හිටපු පා.ම සාගර කාරියවසම්, ඇතුළු දේශපාලන පක්ෂ නියෝජිතයින් රැසක් එක්ව සිටියහ.

එමෙන්ම එම්. ඒ. සුමන්තිරන් නියෝජනය කරන ඉලංකයි තමිල් අරසු කච්චි පක්ෂයේ නියෝජිතයින්, මනෝ ගනේෂන්, සී වී විග්නේෂ්වරන්, මහින්ද දේශප්‍රිය ඇතුළු පිරිසක්ද ඊට සහභාගී වූහ.

ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් මෙම සාකච්ඡාවට ජාතික ජනබලවේගයේ මහලේකම් විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා සහභාගී වූ අතර පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමය යටතේ පැවැත්විය යුතු ද යන්න සොයා බලා වාර්තා කිරීමටත්, ඒ පිළිබඳව සිය යෝජනා සහ නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිව්දෙනාම මීට සහභාගීව සිටියහ.