පළාත් සභා මැතිවරණයට ප්‍රතිපාදන ගැටලුවක් නොමැති බව ඇමති නලින්ද කියයි

පළාත් සභා මැතිවරණයට ප්‍රතිපාදන ගැටලුවක් නොමැති බව ඇමති නලින්ද කියයි

May 26, 2026   02:52 pm

පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන පවතින බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

අද (26) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා විසින් පළාත් සභා මැතිවරණය පැවැත්වීම මෙම වසරේ නොහැකි බවත් ඒ සඳහා මුදල් නොමැති බවත් සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

මැතිවරණය සඳහා අවශ්‍ය මුදල් වෙන් කර ඇති බවත් ප්‍රතිපාදනවල කිසිදු ගැටලුවක් නොමැති බවත් පැවසු අමාත්‍යවරයා මැතිවරණය පැවැත්වීමට නොහැකි ගැටලුව බවට පත්ව ඇත්තේ නීතිමය ප්‍රතිපාදනවල බවද සඳහන් කළේය.

එම ගැටලුව නිරාකරණය කිරීම සඳහා මේ වන විට පාර්ලිමේන්තු කාරක සභාවක් ක්‍රියාත්මක වන බවත් පැවසූ අමාත්‍යවරයා මේ සම්බන්ධව එම කාරක සභාවේ සාකච්ඡා වෙමින් පවතින බැවින් අදාළ නීතිමය ප්‍රතිපාදන ලැබුණු වහාම මැතිවරණය පැවැත්වීමට හැකියාව පවතින බවද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා,

"මේ රජය මාස 8ක් තුළ මැතිවරණ 2ක් පවත්වපු ආණ්ඩුවක්... අපේ බලාපොරොත්තුව තියෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හැටියටම ජනතා පරමාධිපත්‍ය සුරක්ෂිත කරමින් මේ පළාත්සභා මැතිවරණය පැවැත්වීම. ඒ සම්බන්ධව ප්‍රතිපාදන ප්‍රශ්නයක් නෑ. මුදල් වෙන් කරලා තිබෙන්නේ. මුදල් වෙන් නොකළත් සාමාන්‍යයෙන් පරිපූරක ඇස්තමේන්තුවකින් වුණත් ඡන්දය සඳහා මුදල් වෙන් කරන්න පුළුවන්කමක් තියෙනවා. නමුත් ගැටලුව තිබෙන්නේ රජයේ අවශ්‍යතාව වෙන්නේ පළාත්සභා මැතිවරණය ඉක්මනට පැවැත්වීම වුණත් ඒකට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදනවල ගැටලුවක් තියෙනවා. ඒක නිරාකරණය සඳහා පාර්ලිමේන්තුවේ කාරක සභාවක් දැන් ක්‍රියාත්මක වෙනවා, එය සාකච්ඡා වෙමින් පවතිනවා ඒ නීතිමය ප්‍රතිපාදනය සලසලා දුන්නොත් අපිට හැකි ඉක්මනට පළාත් සභා මැතිවරණය පවත්වන්නට හැකිවේවී.