දිට්වා වන්දිවලින් ලක්ෂ10 අල්ලස් ගත් ග්‍රාම නිලධා‍රීවරයෙකු හා කම්කරුවෙකු අත්අඩංගුවට

දිට්වා වන්දිවලින් ලක්ෂ10 අල්ලස් ගත් ග්‍රාම නිලධා‍රීවරයෙකු හා කම්කරුවෙකු අත්අඩංගුවට

May 22, 2026   09:41 pm

රුපියල් ලක්ෂ 10ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා ලබාගැනීමේ චෝදනාව මත මොනරාගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ග්‍රාම නිලධාරීවරයෙකු සහ පැලවත්ත සීනි කර්මාන්තශාලාවේ කම්කරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මොනරාගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව සේවය කළ ග්‍රාම නිලධාරීවරයෙකු සහ පැලවත්ත සීනි කර්මාන්ත ශාලාවේ සේවය කළ කම්කරුවෙකු වේ.

දිට්වා සුළි කුණාටුවෙන් පූර්ණ හානි වූ නිවසක් වෙනුවෙන් රජයෙන් අනුමත වූ රුපියල් ලක්ෂ 50ක ආධාර මුදලින් රුපියල් ලක්ෂ දහයක මුදලක් මෙම දෙදෙනා අල්ලස් ලෙස ලබා ගෙන ඇත.

පැමිණිලිකාරියගේ නිවාස හානිය වෙනුවෙන් රජය මඟින් ලබාදීමට අනුමත කළ ලක්ෂ 50ක මුදලෙන්, 2026 අප්‍රේල් 10 වන දින පළමු වාරිකය ලෙස රුපියල් ලක්ෂ 20ක මුදලක් ලබා දී ඇති අතර සැකකරුවන් විසින් ඉන් ලක්ෂ 10ක මුදලක් මෙලෙස ලබාගෙන ඇත.

එමෙන්ම ඉදිරියේදී ලබාදීමට නියමිත දෙවන සහ තෙවන වාරික මුදල් නිදහස් කිරීමේදී ද ලක්ෂ 5 බැගින් අල්ලස් ලෙස ඉල්ලා ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් මොනරාගල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළැඹෙන 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.