රණවිරු සැමරුම් පෙරහුරුවට බාධා කළැයි විමල් ඇතුළු පිරිසට අධිකරණ ක්‍රියාමාර්ග
May 18, 2026 05:44 pm
රණවිරු සැමරුම් පෙරහුරුව පැවති අද (18) දිනයේ දී එම කටයුතුවලට බාධා කළැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඇතුළු කණ්ඩායමට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව පොලීසිය පවසයි.
හෙට (19) දිනට යෙදී ඇති ජාතික රණවිරු සැමරුම් දිනය වෙනුවෙන් සැමරුම් උත්සවය ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු ක්‍රිඩාංගනයේ රණවිරු ස්මාරකය අභියසදී පැවැත්වීමට සැලසුම් කර ඇති අතර, එහි පෙරහුරුව අද පවත්වා තිබේ.
මෙම පෙරහුරුව සහ හෙට දින පැවැත්වෙන ප්‍රධාන උත්සවයේ අනෙකුත් සංවිධාන කටයුතු පැවැත්වෙමින් තිබෙන විටදී, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඇතුළු 35 දෙනෙකුගෙන් පමණ සමන්විත කණ්ඩායමක් පෙරහුරු කටයුතුවලට හා නිලධාරින්ගේ රාජකාරියට බාධා වන අයුරින් අනවසරයෙන් රණවිරු ස්මාරක භූමිය වෙත ඇතුළුවීමට උත්සාහ දරා ඇති බව පොලීසිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.
එම අවස්ථාවේදී පොලිස් නිලධාරින් විසින් එම උත්සාහය ව්‍යර්ථ කරන ලද අතර රැඳී සිටි පිරිස එම ස්ථානයෙන් ඉවත් කිරීමට කටයුතු කර ඇති බවද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
