මැයි 19 - 22වනදා දක්වා පාර්ලිමේන්තුව රැස්වෙයි
May 14, 2026 05:41 pm
පාර්ලිමේන්තුව මැයි 19 සිට 22 දක්වා දින හතරක් රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් හංස අබේරත්න මහතා පවසයි.
නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි මහතාගේ ප්‍රධානත්වයෙන් මැයි 08 වැනිදා පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී අදාළ දිනවලට නියමිත කටයුතු තීරණය කර තිබේ.
ඒ අනුව, පාර්ලිමේන්තුව රැස්වන සෑම දිනකම පෙරවරු 9.30 සිට 10.00 දක්වා කාලය ස්ථාවර නියෝග යටතේ පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන් කර ඇති අතර, පෙරවරු 10.00 සිට 11.00 දක්වා වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහාත්, පෙරවරු 11.00 සිට 11.30 දක්වා ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහාත් වෙන් කර ඇත.
මැයි 19 අඟහරුවාදා, පෙරවරු 11.30 සිට පස්වරු 5.00 දක්වා දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිත අතර, අනතුරුව විපක්ෂය විසින් ගෙන එන සභාව කල්තැබීමේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතය.
මැයි 20 බදාදා, පෙරවරු 11.30 සිට ප.ව 5.30 දක්වා ආණ්ඩු පක්ෂය විසින් ගෙනෙනු ලබන යෝජනාව අනුව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2025 වර්ෂය සඳහා නිකුත් කළ ආර්ථික සමාලෝචනය පිළිබඳ වාර්තාව සම්බන්ධයෙන් සභාව කල් තැබීමේ විවාදය පැවැත්වීමටත් මෙහිදී තීරණය විී ඇත.
මැයි 21 බ්‍රහස්පතින්දා, ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි කිහිපයක් සහ විසර්ජන පනත යටතේ යෝජනා සම්මතයන් කිහිපයක් විවාදයට ගැනීමට නියමිතය.
මැයි 22 සිකුරාදා පෙ.ව 11.30 සිට ප.ව 5.00 දක්වා කාලය අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් ශෝක ප්‍රකාශ යෝජනා ඉදිරිපත් කිරීම සඳහා කාලය වෙන් කර ඇත. ඒ අනුව (මහාචාර්ය) තිස්ස විතාරණ, එස්.සී මුතුකුමාරණ, චන්ද්‍රදාස ගලප්පත්ති, නන්දන ගුණතිලක, ජනක් මහේන්ද්‍ර අධිකාරි සහ කනගසබෙයි තම්මන්පිල්ලෙයි යන අභාවප්‍රාප්ත හිටපු ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් ශෝක යෝජනා ඉදිරිපත් කිරීමට නියමිතය.
අනතුරුව පස්වරු 5.00 සිට 5.30 දක්වා සභාව කල්තබන අවස්ථාවේ ප්‍රශ්න සඳහා කාලය වෙන් කර ඇති බවද පාර්ලිමේන්තුව සඳහන් කරයි.
