කාලගුණයෙන් රතු නිවේදනයක් - ප්‍රදේශ රැසකට මි.මී 150 ඉක්මවූ වැසි

කාලගුණයෙන් රතු නිවේදනයක් - ප්‍රදේශ රැසකට මි.මී 150 ඉක්මවූ වැසි

May 14, 2026   06:03 pm

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් රතු නිවේදනයක් නිකුත් කර තිබේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් අද (14) පස්වරු 5.30ට නිකුත් කළ මෙම නිවේදනය හෙට (15) පෙරවරු 8.30 දක්වා වලංගු වන බව සඳහන්ය.

අද උදෑසන ලබාගත් කාලගුණ දත්ත විශ්ලේෂණයට අනුව, ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පිහිටා ඇති අඩු පීඩන කලාපය තවදුරටත් සක්‍රීයව පවතින අතර, ඉදිරි පැය 48 තුළ එය ශ්‍රී ලංකාවෙන් ඉවතට ගමන් කරනු ඇතැයි අපේක්ෂා කරන බවද එම දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර උතුරු පළාතේ ඇතැම් ස්ථානවලටද මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව සඳහන් කර තිබේ.

ගිගුරුම් සහිත තද වැසි සමඟ ඇති විය හැකි තද සු සහ අකුණු මඟින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.