තායිවාන ගැටලුව ගැටුමකට මඟ පෑදිය හැකියි - චීන ජනපතිගෙන් දැඩි අනතුරු ඇඟවීමක්

තායිවාන ගැටලුව ගැටුමකට මඟ පෑදිය හැකියි - චීන ජනපතිගෙන් දැඩි අනතුරු ඇඟවීමක්

May 14, 2026   04:00 pm

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර බීජිං නුවරදී පැවැත්වෙන දෙදින රාජ්‍ය තාන්ත්‍රික සමුළුව ආරම්භ කරමින්, තායිවාන ගැටලුව සම්බන්ධයෙන් චීන ජනාධිපතිවරයා දැඩි අනතුරු ඇඟවීමක් සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

දෙරටේ නායකයින් අතර පැවති පැය දෙකකට අධික සාකච්ඡාවේදී චීන ජනපති ෂී ජින්පින් අවධාරණය කර ඇත්තේ, දෙරට මුහුණ දෙන වැදගත්ම ගැටලුව තායිවානය බවය.

එම ගැටලුව නිසිලෙස කළමනාකරණය නොකළහොත් අමෙරිකා-චීන සබඳතා අතිශය භයානක තත්ත්වයකට ඇදවැටිය හැකි බවත්, එය දෙරට අතර සෘජු ගැටුමකට පවා මඟ පෑදිය හැකි බවත් ඔහු පවසා තිබේ.

චීනය තමන්ගේම කොටසක් ලෙස සලකන තායිවානයට අමෙරිකාව ආයුධ සැපයීම සම්බන්ධයෙන් බීජිං පාලනය මෙහිදී සිය දැඩි විරෝධය පළ කර ඇත.

තායිවාන ගැටලුව සම්බන්ධයෙන් දැඩි ස්ථාවරයක සිටියද, දෙරට අතර පවතින වෙළෙඳ සාකච්ඡා සම්බන්ධයෙන් ෂී ජින්පින් සුබවාදී අදහස් පළ කළේය.

පසුගිය ඔක්තෝබර් මාසයේදී දෙරට අතර ඇති කරගත් වෙළෙඳ සටන් විරාමය පවත්වා ගැනීමටත්, කෘෂිකාර්මික හා තාක්ෂණික ක්ෂේත්‍රවල සහයෝගීතාව පුළුල් කිරීමටත් නායකයන් දෙදෙනා එකඟ වී ඇත.

අමෙරිකාව අපේක්ෂා කරන්නේ චීනයට බෝයිං ගුවන් යානා, කෘෂි නිෂ්පාදන සහ බලශක්තිය අලෙවි කිරීම හරහා සිය වෙළෙඳ හිඟය පියවා ගැනීමට බව සඳහන් වේ.

 ඒ වෙනුවට චිප් නිෂ්පාදන උපකරණ සහ උසස් අර්ධ සන්නායක (Semiconductors) අපනයනය මත පනවා ඇති සීමා ලිහිල් කරන ලෙස චීනය ඉල්ලා සිටී.

සාකච්ඡාවේදී ප්‍රධාන වශයෙන් කරුණු තුනක් කෙරෙහි අවධානය යොමුව තිබේ.

ඉරාන යුද්ධය හේතුවෙන් අමෙරිකාව තුළ උද්ධමනය ඉහළ ගොස් ඇති පසුබිමක, එම ගැටුම සමනය කිරීමට මැදිහත් වන ලෙස ට්‍රම්ප් චීනයෙන් ඉල්ලා ඇත.

මීට දශකයකට පෙර පැවති තත්ත්වයට වඩා චීනය දැන් ආර්ථික වශයෙන් ප්‍රබල වී ඇති අතර, ට්‍රම්ප් විසින් දෙරටේ සබඳතාව 'G2' (ලොව බලවත්ම යුගලය) ලෙස හැඳින්වීම විශේෂත්වයක‍ි.

මැදපෙරදිග, යුක්‍රේනය සහ උතුරු කොරියාවේ පවතින තත්ත්වයන් පිළිබඳව ද නායකයින් මෙහිදී අදහස් හුවමාරු කර ගෙන තිබේ.

කමෙම සමුළුව "ඉතිහාසයේ විශාලතම සමුළුව" විය හැකි බව ට්‍රම්ප් ප්‍රකාශ කළද, තායිවාන ගැටලුව සම්බන්ධයෙන් පවතින උණුසුම් තත්ත්වය හමුවේ දෙරටේ සබඳතාවල අනාගතය තීරණය වනු ඇත.