මාරාන්තික ‘හන්ටා’ වෛරසය අමෙරිකානු සහ ප්‍රංශ ජාතිකයින් දෙදෙනෙකුටත් වැළඳෙයි

මාරාන්තික ‘හන්ටා’ වෛරසය අමෙරිකානු සහ ප්‍රංශ ජාතිකයින් දෙදෙනෙකුටත් වැළඳෙයි

May 11, 2026   02:14 pm

මාරාන්තික හන්ටා වෛරසය ව්‍යාප්ත වූ විනෝද චාරිකා නෞකාවක ගමන් කර නැවත සිය රටවල් බලා ගිය අමෙරිකානු සහ ප්‍රංශ ජාතිකයින් දෙදෙනෙකුට වෛරසය වැළඳී ඇති බව සෞඛ්‍ය බලධාරීන් තහවුරු කර තිබේ.

MV Hondius නම් මෙම නෞකාව දැනට ස්පාඤ්ඤයේ කැනරි දූපත්හි නවතා ඇති අතර, එහි සිටි මගීන් 90කට අධික පිරිසක් මේ වන විට සිය රටවල් වෙත යොමු කරමින් පවතී. 

මෙම වෛරසය හේතුවෙන් මේ වන විටත් ලන්දේසි යුවළක් සහ ජර්මානු ජාතික කාන්තාවක් වශයෙන් මගීන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

වෛරසය ආසාදනය වූ අමෙරිකානු ජාතිකයා සහ තවත් රෝග ලක්ෂණ පෙන්වන අයෙකු විශේෂිත ජෛව ආරක්ෂිත ඒකක හරහා නෙබ්‍රස්කාහි වෛද්‍ය මධ්‍යස්ථානයක් වෙත රැගෙන ගොස් ඇත.

ප්‍රංශ සෞඛ්‍ය අමාත්‍ය ස්ටෙෆනි රිස්ට් ප්‍රකාශ කළේ පැරිස් නුවර හුදෙකලා කර සිටින කාන්තාවකගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් අතට හැරෙමින් පවතින බවත්, ඇය හා සම්බන්ධ වූ පුද්ගලයින් 22ක් හඳුනාගෙන ඇති බවත්ය.

ටෙනරීෆ් සිට පැමිණි බ්‍රිතාන්‍ය ජාතිකයින් 20 දෙනෙකු දින 3ක නිරෝධායනය සඳහා යොමු කර ඇති නමුත් ඔවුන් කිසිවෙකු රෝග ලක්ෂණ පෙන්වා නොමැති බව සඳහන් වේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන පරිදි, මෙම මගීන්ට දකුණු අමෙරිකාවේදී වෛරසය ආසාදනය වී ඇත.

සාමාන්‍යයෙන් මීයන් වැනි සතුන්ගෙන් ව්‍යාප්ත වන මෙම වෛරසයේ 'ඇන්ඩීස්' ප්‍රභේදය මිනිසාගෙන් මිනිසාට බෝ වීමේ හැකියාවක් පවතී.

රෝග ලක්ෂණ,

තද උණ සහ අධික තෙහෙට්ටුව.

මස්පිඬු වේදනාව සහ බඩේ කැක්කුම.

වමනය, පාචනය සහ හුස්ම ගැනීමේ අපහසුව.

ලෝක සෞඛ්‍ය සංවිධානය මෙම නෞකාවෙන් ඉවත් වන පුද්ගලයින් සඳහා දින 42ක නිරෝධායන කාලයක් නිර්දේශ කර තිබුණද, අමෙරිකානු රෝග පාලන මධ්‍යස්ථානය පවසන්නේ මෙය කොවිඩ් වෛරසය මෙන් භයානක නොවන බවත්, මිනිසාගෙන් මිනිසාට බෝ වීම ඉතා දුර්ලභ බැවින් මහජනතාව අනියත බියක් ඇති කරගත යුතු නැති බවත්ය.

කෙසේ වෙතත්, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයීසස් අනතුරු අඟවා සිටියේ ජාත්‍යන්තර මාර්ගෝපදේශ අනුගමනය නොකිරීම අවදානම් සහගත විය හැකි බවයි.