ඉරානය යෝජනාවට එකඟ නොවුනොත් ප්‍රහාර දැඩි කරනවා - ට්‍රම්ප්

ඉරානය යෝජනාවට එකඟ නොවුනොත් ප්‍රහාර දැඩි කරනවා - ට්‍රම්ප්

May 6, 2026   06:10 pm

හෝර්මුස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීම සඳහා වන එකඟතාවන්ට ඉරානය එකඟ නොවන්නේ නම්, එරටට එල්ල කරන බෝම්බ ප්‍රහාර "ඉතා ඉහළ මට්ටමකින් සහ දැඩි තීව්‍රතාවයකින්" යළි ආරම්භ කරන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවා තිබේ.

තමන්ගේ 'Truth Social' ගිණුමේ සටහනක් තබමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියේ, දැනට එකඟ වී ඇති කොන්දේසිවලට ඉරානය එකඟ වන්නේ නම් පමණක් දැනට ක්‍රියාත්මක යුදමය තත්ත්වය අවසන් වන බවයි.

දැනට පවතින තාවකාලික සටන් විරාමය හමුවේ වුවද, අමෙරිකානු ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශය කලාපීය නොසන්සුන්තාව තවදුරටත් ඉහළ නැංවීමට හේතු වී තිබේ.

මේ අතර, අමෙරිකානු තර්ජන මැඩපැවැත්වීමෙන් පසු හෝර්මුස් සමුද්‍ර සන්ධියේ ‘ස්ථාවර ගමනාගමනය’ තහවුරු කරන බව ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) පවසයි.

හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කිරීම සඳහා පනවා ඇති නව ඉරාන රෙගුලාසිවලට සහයෝගය දැක්වීම සම්බන්ධයෙන් පර්සියානු බොක්ක සහ ඕමාන් බොක්ක ආශ්‍රිතව යාත්‍රා කරන නෞකා හිමියන්ට සහ කපිතාන්වරුන්ට ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය‍ෙ නාවික හමුදාව ස්තූතිය පළ කර තිබේ.

X සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ නිවේදනයක් නිකුත් කරමින් IRGC බලකාය සඳහන් කළේ, ආක්‍රමණිකයන්ගේ තර්ජන මැඩපවත්වා ඇති බැවින් නව නීතිරීති යටතේ ආරක්ෂිත ගමනාගමනය සහතික කරන බවය.