කොත්මලේ ජලාශයේ මඩ සොරව්ව විවෘත කරයි
May 6, 2026 03:36 pm
කොත්මලේ ගාමිණි දිසානායක ජලාශයේ මඩ සොරව්ව ඊයේ (05) දින විනාඩි 30ක පමණ කාලයක් විවෘත කළ බව එම ජලාශයේ කාර්යභාර ඉංජිනේරුවරයා පවසයි.
දිට්වා සුලිකුණාටුවෙන් අනතුරුව මෙම ජලාශයට විශාල වශයෙන් රොන් මඩ තැම්පත්වී තිබුණි.
ජලාශ වේල්ල අසළට විශාල වශයෙන් රොන් මඩ ගලා ඒම හේතුවෙන් ජලාශ වේල්ලට පහළින් කොත්මලා ඔයේ දෙපස පදිංචිකරුවන් සහ අදාළ රාජ්ය ආයතන දැනුවත් කර මෙම ක්රියාවලිය සිදු කළ බව ඉංජිනේරුවරයා ප්රකාශ කළේය.
ඉන් තත්ත්පරයට ජලය ඝනමීටර් 90ක් තරම් සුළු ජල ධාරිතාවක් පිටවී ඇත.
මේ දිනවල කොත්මලේ ජල පෝෂක ප්රදේශවලට පවතින අධික වියලි කාලගුණය හේතුවෙන් ජලාශයේ ජලධාරිතාවය 27.7% දක්වා පහළ බැසි ඇති බව කාර්යභාර ඉංජිනේරුවරයා වැඩිදුරටත් කියා සිටියේය.
කොත්මලේ ගාමිණි දිසානායක ජලාශයේ මඩ සොරව්ව අවසන් වරට විවෘත කරනු ලැබුවේ, 2024 වසරේදීය.
