සජබ මැයි දින රැලියට හිටපු ජනපති රනිල්ගෙන් සුභාසිංසන
May 1, 2026 02:39 pm
ලෝක කම්කරු දිනය වෙනුවෙන් සමගි ජන බලවේගය විසින් අද (01) සංවිධානය කරනු ලබන මැයි දින රැලිය සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කර තිබේ.
මෙවර සමගි ජන බලවේගයේ මැයි දින රැලිය විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ මාලිගාවත්ත පී.ඩී. සිරිසේන ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතව ඇත.
එම මැයි දින රැලිය සඳහා හිටපු ජනාධිපතිවරයා සිය සුභාසිංසන එක්කරමින් සඳහන් කර ඇත්තේ වර්ථමාන රජයේ නියම ස්වරූපය පෙන්වමින් හොරකම්, වංචා, දූෂණ, තර්ජන ගර්ජන මනාව ඔප්පු කළ කාලපරිච්ඡේදයක් ලෙස පසුගිය වර සැලකිය හැකි බවත් ගල් අඟුරු වංචාව, මහා භාණ්ඩාගාරයේ අමෙරිකානු ඩොලර් ලක්ෂ 25ක මංකොල්ලය ඒ අතරින් මෑත කාලයේ සිදුවූ මහා පරිමාණ හොරකම් බවය.
මෙම පසුබිම යටතේ සමගි ජන බලවේගය විසින් "පච මදිවට හොරු" පාඨය වර්ථමානයේ ඉතාම උචිත තේමාවක් බවත් සඳහන් කර ඇති හිටපු ජනාධිපතිවරයා මෙම පාඨය බිම් මට්ටමට ගෙන යනු ඇතැයි අපේක්ෂා කරන බවත් සිය පණිවිඩය මගින් සඳහන් කර තිබේ.
එමෙන්ම මෙම පාඨය ප්‍රාදේශීය සභා, නගර සභා සහ මහ නගර සභා ඇතුළත් පළාත් පාලන ආයතන මගින් ක්‍රියාවට නැංවීමද ඉතාම සුදුසු බවද රනිල් වික්‍රමසිංහ මහතා අදාළ සුභාසිංසන පණිවිඩය මගින් පෙන්වා දී ඇත.
තවද එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එකට ගමනක් යාම සඳහා සාකච්ඡා කිරීමට පත් කළ කමිටුවේ වැඩකටයුතු ද ඉදිරියට ගෙන යන ලෙසත් සිහිපත් කරමින් සමගි ජන බලවේගයේ මැයි දින රැලියට සිය සුභාසිංසන එක්කරමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා අදාළ ලිපිය යොමු කර තිබේ.
එම සුභාසිංශණ පණිවිඩය පහතින්,
ජනතා විමුක්ති පෙරමුණ ප්රමුඛ මාලිමා රජයේ නියම ස්වරූපය පෙන්වමින් හොරකම්, වංචා, දූෂණ, තර්ජන ගර්ජන මනාව ඔප්පු කළ කාලපරිච්ඡේදයක් ලෙස පසුගිය වසර සැලකිය හැකිය. ගල් අඟුරු වංචාව, මහා භාණ්ඩාගාරයේ ඇමරිකානු ඩොලර් ලක්ෂ 25 ක මංකොල්ලය ඒ අතරින් මෑත කාලයේ සිදුවූ මහා පරිමාණ හොරකම් කිහිපයකි.
ජනතාවට පොරොන්දු වූ සහන කිසිවක් ලබාදීමට අද වන තෙක් මාලිමා රජයට හැකි වී නැත. ජීවන වියදම අහස උසට ගොස්ය. ජනතාව දුක් විඳින අවස්ථාවේදී ආණ්ඩුවේ පාර්ශව සැප විඳිමින් සිටිති.
තවත් පැත්තකින් මේ වනවිට පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදයට මරු පහරක් එල්ල කර පවතී. සමගි ජන බලවේගය ප්රමුඛ විපක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායමට ජනතාව වෙනුවෙන් හඬ නැගීමට ඉඩක් නොදීම බරපතල තත්ත්වයකි. හැමවිටම තර්ජනයෙන් සියල්ල පාලනය කිරීමට වෙර දරයි. පවතින වාතාවරණය අනුව විපක්ෂය ජයග්‍රහණය කරනු ඇතැයි බියෙන් පළාත් සභා ඡන්දය පවත්වන්නේ නැත.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින්ම ජනතා මුදල් පාලනය කිරීමේ බලය පාර්ලිමේන්තුවට දී තිබියදීත් මහා භාණ්ඩාගාරයේ ඇමරිකානු ඩොලර් ලක්ෂ 25 ක හොරකම පිළිබඳ පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වීමට මුලින් ඉඩ දුන්නේ නැත. වෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තු ක්‍රමය යටතේ මෙවැනි තත්ත්වයක් ඇති වූයේ ප්‍රථම වතාවටය.
මුදල් අමාත්‍යංශ ලේකම්වරයා පාර්ලිමේන්තු කාරක සභාව හමුවට පැමිණීම ද මුලින් ප්‍රතික්ෂේප කළේය. ප්රජාතන්ත්රවාදයට එරෙහි මේ තීරණ අවසන් මොහොතේ වෙනස් වූයේ දිගින් දිගටම එල්ල වූ ජනතා විරෝධය හේතුවෙනි.
තවත් පැත්තකින් ජනතා විමුක්ති පෙරමුණ ප්රමුඛ මාලිමා රජය බෞද්ධ අයිතිවාසිකම් සහමුලින්ම උල්ලංඝනය කරමින් සිටී. කතෝලික පාසල් පිළිබඳව 1962 දී ආණ්ඩුව සහ කතෝලික සභාව අතර ඇතිකරගත් සම්ප්‍රදායන් සියල්ල කඩකරලාය. කිසිඳු ආගමක් ගැන රජයේ සැලකිල්ලක් නැත.
වර්ෂ 1977 සිට ජේ. ආර්. ජයවර්ධන, රණසිංහ ප්‍රේමදාස යන මහත්වරුන්ගේ නායකත්වයෙන් ක්‍රියාත්මක කළ සංවර්ධන වැඩසටහන් සියල්ල මේ වනවිට ඇණ හිට පවතී. අද නව රැකියා බිහි වන්නේ නැත. කර්මාන්ත, සංචාරක, ඉදිකිරීම් ඇතුළු සියලු ක්ෂේත්‍ර කඩාවැටී අවසානය.
මේ පසුබිම යටතේ “පච මදිවට හොරු” පාඨය වර්තමානයේ ඉතාම උචිතම තේමාවයි. සමගි ජන බලවේගය තෝරාගත් ඒ පාඨය බිම් මට්ටමටම ගෙන යනු ඇතැයි අපේක්ෂා කරමි. ප්‍රාදේශීය සභා, නගර සභා සහ මහ නගර සභා ඇතුළත් පළාත් පාලන ආයතන මගින් මේ පාඨය ක්‍රියාවට නැංවීම ඉතාම සුදුසුය.
එසේම එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එකට ගමනක් යාම සඳහා සාකච්ඡා කිරීමට පත් කළ කමිටුවේ වැඩකටයුතු ඉදිරියට ගෙන යමු යයි ද යළිත් සිහිපත් කරමි. සමගි ජන බලවේගයේ මැයි රැලිය සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරමි.
රනිල් වික්‍රමසිංහ
viii වැනි විධායක ජනාධිපති
එක්සත් ජාතික පක්ෂ නායක
