ජර්මානු චාන්සලර්ට ට්‍රම්ප් අනතුරු අඟවයි

ජර්මානු චාන්සලර්ට ට්‍රම්ප් අනතුරු අඟවයි

May 1, 2026   01:51 pm

ඉරානට එරෙහි යුද්ධය සම්බන්ධ ප්‍රකාශ කරමින් ඊට මැදිහත් නොවන්නැයි අමෙරිකානු ජනාධිපති ඩොනල්ස් ට්‍රම්ප්, ජර්මානු චාන්සලර් ෆෙඩ්රික් මර්ස් වෙත අනතුරු අඟවා තිබේ.

අමෙරිකාව, ඉරාන සාම නියෝජිතයින් හමුවේ නින්දාවට පත්ව ඇති බවට මර්ස් කළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව පවසා ඇත.

එමෙන්ම ජර්මනියේ රඳවා සිටින අමෙරිකානු සෙබළු දහස් ගණනක් ඉන් ඉවත්කර ගැනීම සම්බන්ධවත් මේ වනවිට අමෙරිකාවේ අවධානය යොමුව ඇති බවද වාර්තා වේ.

මේ අතර නුදුරේදීම අමෙරිකාව ඉරානය වෙත පහරදීමට අවස්ථාවක් ඇතැයි අමෙරිකානු ජනාධිපතිවරයා ඉඟිකර තිබේ.

කෙසේ නමුත් ඉරානය ද පවසන්නේ, අමෙරිකාව සිය වරායන් අවහිර කිරීම 'ඉවසිය නොහැකි' මට්ටමක් කරා පැමිණ ඇති බවය.

මේ අතර හෝමුස් සමුද්‍රසන්ධියේ පවතින අනාරක්ෂිත තත්ත්වයට අමෙරිකාව සහ ඊශ්‍රායලය හේතුවී ඇතැයි ඉරාන ජනාධිපති මසූද් පෙසෙෂ්කියන් පවසා ඇත.

එමෙන්ම ලිඛිත නිවේදනයක් නිකුත් කර තිබූ ඉරාන ආධ්‍යාත්මික නායක මොජ්ටබා කමේනි අවධාරණය කර ඇත්තේ, හෝමුස් සමුද්‍රසන්ධියේ රැඳී සිටින සතුරා විනාශ කර ගල්ෆ් කලාපය සුරක්ෂිත කිරීමට ඉරානයේ වගකීමක් වී ඇති බවය.

අමෙරිකානු, ඊශ්‍රායල ප්‍රහාරවලින් පසුව සුන්බුන් අතර සිරවූ හෝ පස් යට සැඟවී ගිය ආයුධ නැවත ගොඩගැනීමට ඉරානය සටන්විරාමය අතරතුර කටයුතු කරමින් සිටින බවටත් අමෙරිකානු මාධ්‍ය වාර්තා කර තිබේ.

අමෙරිකානු බලධාරීන් උපුටා දක්වමින් එම වාර්තාවේ දී වැඩිදුරටත් දැක්වෙන්නේ, ඉරානය ඩ්‍රෝන සහ මිසයිල නිෂ්පාදනය කඩිනම් කර ඇති බවය.