බන්ධනාගාර රැඳවියෙකුගේ මියයෑම සම්බන්ධයෙන් ජේරල්වරයෙකු සහ නියාමකවරයෙකු අත්අඩංගුවට

බන්ධනාගාර රැඳවියෙකුගේ මියයෑම සම්බන්ධයෙන් ජේරල්වරයෙකු සහ නියාමකවරයෙකු අත්අඩංගුවට

April 28, 2026   07:50 am


කොළඹ මැගසින් බන්ධනාගාරයේ ආරවුලක් හේතුවෙන් රැඳවියෙකු මියයෑමේ සිද්ධියට අදාළව බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු බොරැල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 

මැගසින් බන්ධනාගාරයේ ජේරල්වරයෙකු සහ නියාමකවරයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.

කොළඹ මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනෙකු සහ නියාමකවරයෙකු අතර ඊයේ (27) පෙරවරුවේ ආරවුලක් හටගෙන ඇති අතර එහිදී ඔවුන් තිදෙනාම තුවාල ලබා ප්‍රතිකාර සඳහා බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබේ.

පොලීසිය සඳහන් කළේ, එලෙස රෝහල් ගත කෙරුණු එක් රැඳවියෙකු පසුව මියගොස් ඇති බවය.

මියගොස් ඇත්තේ මත්ද්‍රව්‍ය චෝදනාවක් මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි 37 හැවිරිදි නවගම්පුර, කොළඹ 14 ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙකි.

මෙම සිදුවීමට අදාළව බොරැල්ල පොලීසිය විසින් බන්ධනාගාර ජේරල්වරයෙකු සහ නියාමකවරයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත සොයිසා මහතාගේ අධීක්ෂණය යටතේ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.