ජල කළමනාකරණය පිළිබඳ සාකච්ඡාවක් ජනපති ප්‍රධානත්වයෙන් 

ජල කළමනාකරණය පිළිබඳ සාකච්ඡාවක් ජනපති ප්‍රධානත්වයෙන් 

April 2, 2026   08:36 pm

පවතින කාලගුණික සහ දේශගුණික වෙනස්කම්, ඉදිරියේදී ඇති විය හැකි එල්නිනෝ තත්ත්වය සහ යල කන්නයේ  වී වගාව ආරම්භ වීමත් සමඟ සිදු කළ යුතු ජල කළමනාකරණය පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (02)  පස්වරුවේ පැවැත්විණි.

ඉදිරි පුරෝකථනයන්ට අනුව මේ වසරේ ලැබිය හැකි වර්ෂාපතනය පිළිබඳවත්, එමෙන්ම දැනට ජලාශවල පවතින ජල ප්‍රමාණයන් පිළිබඳවත් මෙහිදී සංඛ්‍යා දත්ත මත පදනම්ව කරුණු සාකච්ඡා කෙරිණි.

විශේෂයෙන් බලශක්ති සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යාම වෙනුවෙන් ජල විදුලි නිෂ්පාදනය, පානීය ජල අවශ්‍යතා සැපිරීම මෙන්ම යල කන්නයේ වගාවන්ට අවශ්‍ය ජලය මුදා හැරීම යන කරුණු මත පදනම්ව අවශ්‍ය ජල කළමනාකරණය පිළිබඳව මෙහිදී අවධානය යොමු විය. 

කෘෂිකර්ම, පශු සම්පත් ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඩී. පී. වික්‍රමසිංහ, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කපිල ජනක බණ්ඩාර, මහවැලි අධ්‍යක්ෂ ජෙනරාල් එච්.එම්.ජේ.කේ. හේරත්, වාරිමාර්ග අධ්‍යක්ෂ ජෙනරාල් කිත්සිරි වැලිගෙපොලගේ, ජාතික ජල සම්පාදන සහ ජලාපවහන  මණ්ඩලයේ සභාපති ඉංජිනේරු චන්දන බණ්ඩාර යන මහත්වරුන් සහ අදාළ ආයතනවල ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.