යුද ගිනි ඇවිළෙන මැදපෙරදිග - නවතම යාවත්කාලීන කිරීම් මෙතැනින්
March 15, 2026 06:43 am
ඊශ්‍රායලය සහ අමෙරිකාව ඒකාබද්ධව සිදු කරන ඉරානයට එරෙහි යුද මෙහෙයුම ආරම්භ කර අදට (15) දින 16ක් ගතවී තිබේ.
Update 4.35 PM
ලෙබනනයේ බේරූට් අගනුවරට දකුණින් පිහිටි සාර්හබිල් (Sharhabil) නගරයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරයකින් පුද්ගලයෙකු මිය ගොස් ළමුන් තිදෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වෙයි.
---------------------
Update 4.02 PM
ඉරානය විසින් වසා දමා ඇති හෝමුස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීම සඳහා යුද නැව් ලබා දෙන ලෙස ජනාධිපති ට්‍රම්ප් දකුණු කොරියාව, ජපානය, බ්‍රිතාන්‍යය සහ චීනය ඇතුළු රටවල් කිහිපයකින් ඉල්ලා ඇත.
---------------------
Update 4.00 PM
අමෙරිකා එක්සත් ජනපදය දැනට මැදපෙරදිග සමඟ පවතින යුද්ධය කෙරෙහි වැඩි අවධානයක් යොමු කර ඇති නිසා, රුසියාවට එරෙහිව සටන් කරන යුක්‍රේනයට ලැබෙන අමෙරිකානු සහයෝගය අඩු වේදැයි සෙලෙන්ස්කි සිය කනස්සල්ල පළ කර ඇත.
---------------------
Update 3.43 PM
මැදපෙරදිග යුද්ධය ආරම්භ වූ දා සිට මේ දක්වා බහරේනය දෙසට එල්ල වූ මිසයිල 125ක් සහ ඩ්‍රෝන යානා 211ක් සාර්ථකව විනාශ කිරීමට එරට ගුවන් ආරක්ෂක පද්ධති සමත් වී ඇති බව සඳහන් වෙයි.
----------------------
Update 3.40 PM
ඉරානය විසින් වසා දමා ඇති හෝර්මුස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කර, ඉන්ධන මිල පාලනය කිරීමට බ්‍රිතාන්‍යය සහ එහි මිත්‍ර රටවල් සමඟ දැඩි ලෙස සාකච්ඡා කරමින් සිටින බව විදෙස් වාර්තා පවසයි.
-----------------------
Update 3.20 PM
ඉරානය විසින් ඊශ්‍රායලයේ පොලිස් මූලස්ථානයකට සහ චන්ද්‍රිකා සන්නිවේදන මධ්‍යස්ථානයකට ප්‍රබල ඩ්‍රෝන ප්‍රහාර එල්ල කළ බවට ඉරාන හමුදාව නිල ප්‍රකාශයක් නිකුත් කර තිබේ.
-------------------------
Update 2.55 PM
ඊශ්‍රායලය විසින් ලෙබනනයේ බේරූට් අගනුවර දකුණුදිග ප්‍රදේශ කිහිපයක පදිංචිකරුවන්ට වහාම ඉවත් වන ලෙස දැඩි නියෝගයක් නිකුත් කර ඇති බව විදෙස් වාර්තා පවසයි.
------------------------
Update 2.45 PM
මොජ්තබා කමේනි යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන අතර සම්පූර්ණ පාලනය ඔහු සතු බව ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි පවසා තිබේ.
-----------------------
Update 2.30 PM
මැදපෙරදිග කලාපයේ සිවිල් වැසියන් හෝ නේවාසික ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් ඉරානය ප්‍රහාර එල්ල කර නොමැති බව එරට විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි යළිත් අවධාරණය කර ඇත.
-------------------------
Update 2.19 PM
අමෙරිකාව සහ ඊශ්‍රායල තවදුරටත් සිය බැංකු යටිතල පහසුකම් ඉලක්ක කර ප්‍රහාර එල්ල කරන්නේ නම් ගල්ෆ් කලාපයේ පිහිටි අමෙරිකානු බැංකු ශාඛා වෙත සිදුකරන ප්‍රහාර තවදුරටත් පුළුල් කරන බවට ඉරාන විප්ලවීය හමුදා ආරක්ෂක බලකාය අනතුරු අඟවා තිබේ.
-----------------------
Update 2.10 PM
ලෙබනනයේ අගනුවර වන බීරූට්හි පිහිටි හිස්බුල්ලා සංවිධානයට අයත් මධ්‍යස්ථානයක් අද (15) විනාශ කළ බව ඊශ්‍රායල හමුදාව පවසයි.
හමුදාව නිකුත් කළ නිවේදනයක වැඩිදුරටත් සඳහන් වන්නේ දකුණු ලෙබනනයේ අල්-කට්රානි ප්‍රදේශයේ පිහිටි හිස්බුල්ලා රොකට් ප්‍රහාරක මධ්‍යස්ථාන කිහිපයකට ද ප්‍රහාර එල්ල කළ බවය.
-----------------------
Update 1.42 PM
ඊශ්‍රායලය විසින් බටහිර ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක් ආරම්භ කළ බව ඊශ්‍රායල හමුදාව නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ.
----------------------
Update 1.40 PM
අමෙරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ඉරානයේ සෞඛ්‍ය මධ්‍යස්ථාන 150කට වැඩි ප්‍රමාණයකට හානි සිදුව ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.
--------------------
Update 1.32 PM
මැදපෙරදිග රටවලට ඉරාන ඩ්‍රෝන ප්‍රහාරවලින් ආරක්ෂා වීමට උදව් කිරීම වෙනුවෙන් යුක්‍රේනය මුදල් සහ තාක්ෂණය බලාපොරොත්තු වන බවට යුක්‍රේනයේ ජනාධිපති සෙලෙන්ස්කි ප්‍රකාශ කර තිබේ.
----------------------
Update 12.23 PM
ඉරානය තුළ ඊශ්‍රායලයට ඔත්තු සැපයූ බවට චෝදනා කරමින් පුද්ගලයින් 20 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් වාර්තා පවසයි.
--------------------------
Update 12.20 PM
ඉරාන විප්ලවීය බලකාය පවසන්නේ ඔවුන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පිහිටි අල්-ධෆ්රා ගුවන් කඳවුරට ප්‍රහාර එල්ල කළ බවයි.
--------------------------
Update 12.03 PM
ඉරාන විප්ලවීය බලකාය විසින් ඊශ්‍රායල අගමැතිවරයා ඉලක්ක කරන බවට දැඩි අනතුරු ඇඟවීමක් කර ඇත.
---------------------------------
Update 11.10 AM
රියාද් නගරය අවට සහ එරට නැගෙනහිර ප්‍රදේශ ඉලක්ක කරගනිමින් එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාර 10ක් සිය ආරක්ෂක අංශ විසින් ගුවනේදීම විනාශ කළ බව සෞදි අරාබිය පවසයි.
කෙසේ වෙතත්, මෙම ප්‍රහාරය එල්ල වී සුළු වේලාවකට පසුව නිවේදනයක් නිකුත් කරමින් ඉරාන විප්ලවීය ආරක්ෂක බළකාය (IRGC) ප්‍රකාශ කළේ මෙම ප්‍රහාරය සහ ඉරානය අතර කිසිදු සම්බන්ධයක් නොමැති බවය.
---------------------------------
Update 10.15 AM
ක්ෆාර් යුවල් ජනාවාසයට උතුරින් පිහිටි කැල්ෆ් හිල් මධ්‍යස්ථානයේ රැඳී සිටි ඊශ්‍රායල සෙබළුන් ඉලක්ක කර රොකට් ප්‍රහාර එල්ල කළ බව ලෙබනනයේ හිස්බුල්ලා සන්නද්ධ කණ්ඩායම ප්‍රකාශ කරයි.
මීට අමතරව, ලෙබනනයේ දේශසීමා නගරයක් වන මීස් එල්-ජබාල් ඉදිරිපිට පිහිටි ජිබියා ස්ථානයේ සිටි ඊශ්‍රායල සෙබළුන්ට කාලතුවක්කු ප්‍රහාර එල්ල කළ බව ද එම කණ්ඩායම පවසයි.
-----------------------------------
Update 10.10 AM
ඊශ්‍රායලයේ දකුණු දිග ප්‍රදේශ ඉලක්ක කරගනිමින් රොකට් සහ මිසයිල ප්‍රහාර එල්ල වන බව හඳුනාගෙන ඇති බවත්, වහාම ආරක්ෂිත ස්ථාන වෙත යන ලෙසත් ඊශ්‍රායල අභ්‍යන්තර ආරක්ෂක බළකාය ජනතාවගෙන් ඉල්ලා සිටී.
-----------------------------------
Update 10.05 AM
සෞදි ආරක්ෂක අමාත්‍යාංශය පවසන්නේ රියාද් සහ නැගෙනහිර ප්‍රදේශවලදී ඩ්‍රෝන යානා 10ක් මැඩපවත්වා විනාශ කළ බවය.
මෙම නිවේදනය නිකුත් වූයේ එරට නැගෙනහිර ප්‍රදේශයේදී තවත් ඩ්‍රෝන යානා දෙකක් විනාශ කළ බවට නිවේදනය කර පැයකට පමණ පසුවය.
මීට පෙර ද එම අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබුණේ රියාද් සහ නැගෙනහිර ප්‍රදේශවලදී ඩ්‍රෝන යානා හතක් විනාශ කළ බවයි.
---------------------------------
Update 10.00 AM
දකුණු ඊශ්‍රායලයේ එයිලට් නගරයට මුහුණලා පිහිටි ජෝර්දානයේ අකාබා නගරයේ ගුවන් ප්‍රහාර අනතුරු ඇඟවීමේ සංඥා නාද වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
මෙම අනතුරු ඇඟවීම් නිකුත් වූයේ බහරේනය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ද ගුවන් ප්‍රහාර පිළිබඳ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති පසුබිමක ය.
------------------------------------
Update 9.45 AM
බහරේනය පුරා ගුවන් ප්‍රහාර අනතුරු ඇඟවීමේ සංඥා ක්‍රියාත්මක කර ඇති බව එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පවසයි.
මේ හේතුවෙන් කලබල නොවී සන්සුන්ව සිටින ලෙසත්, වහාම ආසන්නතම ආරක්ෂිත ස්ථානයක් වෙත යන ලෙසත් ඔවුන් පදිංචිකරුවන්ගෙන් ඉල්ලා සිටී.
------------------------------------
Update 9.25 AM
ඊශ්‍රායලය සහ ඉරාකය හා කුවේටය තුළ පිහිටි අමෙරිකානු කඳවුරු තුනක් ඉලක්ක කර ප්‍රහාර එල්ල කළ බව ඉරාන විප්ලවීය ආරක්ෂක බළකාය පවසයි.
------------------------------------
Update 9.15 AM
මැදපෙරදිග කලාපයේ වර්ධනය වෙමින් පවතින තත්ත්වය හේතුවෙන් ඉන්දියාවේ විශාලතම ගුවන් සේවය වන ඉන්ඩිගෝ (IndiGo), ඩුබායි වෙත සිදු කරන සිය ගුවන් ගමන් මෙහෙයුම් තවදුරටත් සීමා කර ඇත.
මේ හේතුවෙන් ගුවන් සමාගම සිය ගුවන් ගමන් කාලසටහන් සංශෝධනය කර ඇති අතර, ඩුබායි බලා යන සහ එතැන් සිට පැමිණෙන මගීන්ට ගුවන් තොටුපළ වෙත යාමට පෙර තම ගුවන් ගමනේ වත්මන් තත්ත්වය පරීක්ෂා කරන ලෙස දන්වා තිබේ.
---------------------------------
Update 8.40 AM
අමෙරිකානු කඳවුරු ඉලක්ක කර ගනිමින් ප්‍රහාර පහක් දියත් කළ බව සරායා අව්ලියා අල්-දම් කණ්ඩායම පවසයි.
ඉරානයේ උත්තරීතර නායක අලි කමේනි ඊශ්‍රායලය සහ අමෙරිකාව විසින් ඝාතනය කිරීම සහ තම සටන්කාමීන් පිරිසක් මියයාමට ප්‍රතිචාරයක් ලෙස මෙම ප්‍රහාර එල්ල කළ බව එම කණ්ඩායම සඳහන් කළේය.
මෙම ප්‍රහාරවලට උතුරු ඉරාකයේ අර්බිල් නගරයේ පිහිටි අමෙරිකානු මධ්‍යස්ථානයක් සහ බැග්ඩෑඩ් ගුවන් තොටුපළේ පිහිටි වික්ටෝරියා කඳවුර ද ඇතුළත් වූ බව ඔවුහු වැඩිදුරටත් පැවසීය.
--------------------------------
Update 8.25 AM
දේශසීමා නගරයක් වන ඔඩයිසේ අසල පිහිටි ඛල්ලට් අල්-මහාෆිර් ප්‍රදේශයේ රැඳී සිටි ඊශ්‍රායල සෙබළුන් ඉලක්ක කර ගනිමින් "විශාල රොකට් ප්‍රහාර මාලාවක්" එල්ල කළ බව ලෙබනනයේ හිස්බුල්ලා සන්නද්ධ කණ්ඩායම පවසයි.
------------------------------------
Update 8.15 AM
ඊශ්‍රායල හමුදා විසින් ලෙබනනයේ දකුණුදිග නගරයක් වන සයිඩන්හි ෂර්හබිල් ප්‍රදේශයේ පිහිටි නිවාස සංකීර්ණයකට ගුවන් ප්‍රහාරයක් එල්ල කර ඇත.
------------------------------------
Update 8.10 AM
ජනාධිපති ට්‍රම්ප් NBC News සමඟ පැවැත්වූ පුළුල් සම්මුඛ සාකච්ඡාවකදී, ඉරානය සමඟ ඇති කරගත හැකි විභව ගිවිසුමක් පිළිබඳව කරුණු අනාවරණය කර තිබේ.
ඉරාන බලධාරීන් තමා හා සම්බන්ධ වූ බවත්, නමුත් එහි කොන්දේසි තවමත් ප්‍රමාණවත් තරම් යහපත් නොවන බවත් ඔහු එහිදී ප්‍රකාශ කර ඇත.
ඔහු මීට පෙරද අවස්ථා කිහිපයකදී මෙවැනි ප්‍රකාශ කර තිබුණද, ඉරාන රජය මෙතෙක් එය තහවුරු කර නොමැත.
දෙපාර්ශවයම තවමත් එකිනෙකාට ප්‍රහාර එල්ල කරමින් වාසි සහගත තත්ත්වයක් ලබා ගැනීමට උත්සාහ කරන බැවින්, දැනට මෙය ට්‍රම්ප්ගේ ප්‍රකාශයක් ලෙස පමණක් පවතී.
--------------------------------
Update 7.55 AM
ඉරානයේ ඉස්ෆහන් නගරයට එල්ල වූ ප්‍රහාරයකින් කර්මාන්තශාලා සේවකයින් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වේ.
මෙම ප්‍රහාරයට ලක්ව ඇත්තේ ශීතකරණ සහ තාපක නිෂ්පාදනය කරන සිවිල් කර්මාන්තශාලාවකි.
යුද්ධය ආරම්භ වූ දා සිට ඉස්ෆහන් නගරය මෙම ප්‍රහාරක මෙහෙයුම්වල කේන්ද්‍රස්ථානයක් වී ඇත.
එය රට මැද පිහිටා ඇති ඉතා වැදගත් නගරයක් වන අතර, එහි හමුදාමය සහ සිවිල් යන අංශ දෙකටම අයත් කර්මාන්තශාලා මෙන්ම ඉරානයේ වැදගත්ම න්‍යෂ්ටික මධ්‍යස්ථාන කිහිපයක් ද පිහිටා ඇත.
මීට අමතරව ටෙහෙරාන්, තබ්‍රීස්, බන්ඩර් අබ්බාස් සහ කර්මන් පළාතේ සීර්ජාන් යන නගරවලට ද ප්‍රහාර එල්ල විය.
----------------------------------
Update 7.49 AM
ඊශ්‍රායලයේ අවිවිම්හි රැඳී සිටි එරට සෙබළුන් ඉලක්ක කර ගනිමින් රොකට් ප්‍රහාර මාලාවක් එල්ල කළ බව ලෙබනනයේ හිස්බුල්ලා සන්නද්ධ කණ්ඩායම පවසයි.
-----------------------------------
Update 7.38 AM
ගෙවුණු පැය 24 ඇතුළත ඩ්‍රෝන ප්‍රහාරක යානා පහක් වෙඩි තබා බිම හෙලූ බව කුවේට් ජාතික ආරක්ෂක බළකාය පවසයි.
කුවේට් බලධාරීන් මීට පෙර ප්‍රකාශ කළේ, ඩ්‍රෝන ප්‍රහාර කිහිපයක් කුවේට් ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ස්ථාපිත කර ඇති පහසුකම්වලට එල්ල වී ඇති අතර, ඉන් ගුවන් තොටුපළේ රේඩාර් පද්ධතියේ කොටසකට හානි සිදුව ඇති බවය.
එමෙන්ම අහමඩ් අල්-ජාබර් ගුවන් හමුදා කඳවුරු පරිශ්‍රයට මිසයිල දෙකක් පතිත වීමෙන් සෙබළුන් තිදෙනෙකු තුවාල ලබා ඇති බව ද ඔවුහු වැඩිදුරටත් සඳහන් කර සිටී.
-----------------------------------
Update 7.20 AM
ඕමානයේ සිටින සියලුම අත්‍යවශ්‍ය නොවන රජයේ සේවකයින්ට සහ සේවක පවුල්වල සාමාජිකයින්ට වහාම එරටින් පිටවන ලෙස අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නියෝග කර තිබේ.
"ආරක්ෂක අවදානම්" හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.
-----------------------------------
Update 6.53 AM
දකුණු ලෙබනනයේ සයිඩන් සහ අල්-කට්‍රානි ඉලක්ක කර ගනිමින් එල්ල වූ ඊශ්‍රායල වැටලීම් දෙකකින් පුද්ගලයන් 7දෙනෙකු මියගොස් තවත් 8දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එමෙන්ම දකුණුදිග නබාටියේ නගරයේ නන්ස් අසල්වැසි ප්‍රදේශයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරයකින් තවත් 7දෙනෙකු මියගොස් ඇත.
එම පිරිස අතර කුඩා දරුවන් සිව්දෙනෙකු ද වන බව වාර්තා වේ.
පෙබරවාරි 28 වැනිදා සිට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරවලින් මියගිය සංඛ්‍යාව 826 දක්වා ඉහළ ගොස් ඇති අතර, අවතැන් වූ පිරිස 831,000 ඉක්මවා ඇති බව අමාත්‍යාංශය මීට පෙර වාර්තා කළේය.
----------------------------------
Update 6.20 AM
ඉරානය සමග ගිවිසුමක් ඇති කර ගැනීමට තමන් සූදානම් නොමැති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ.
අමෙරිකානු මාධ්‍ය ආයතනයක් වෙත ප්‍රකාශයක් ලබා දෙමින් ට්‍රම්ප් පවසා ඇත්තේ ඉරානයට ගිවිසුමක් ඇති කර ගැනීමට අවශ්‍ය නමුත් කොන්දේසි තවමත් ප්‍රමාණවත් නොවන නිසා තමන් දැන් එය කිරීමට අකමැති බවය.
කෙසේ නමුත් එම කොන්දේසි මොනවාද යන්න පැවසීම ප්‍රතික්ෂේප කර ඇති අමෙරිකානු ජනාධිපතිවරයා ඕනෑම න්‍යෂ්ටික අභිලාෂයක් අත්හැරීමට ඉරාන කැපවීමක් ගිවිසුමක කොටසක් වනු ඇතැයිද පවසා තිබේ.
එහෙම්ම හෝමූස් සමුද්‍ර සන්දිය සුරක්ෂිත කිරීමට උදව් කිරීමට රටවල් කිහිපයක් කැපවී සිටින නමුත් එම රටවල් මොනවාද යන්න නම් කිරීමටද අමෙරිකානු ජනාධිපතිවරයා මෙහිදී ප්‍රතික්ෂේප කර ඇත.
ඉරාන තෙල් අපනයනය සඳහා තීරණාත්මක මධ්‍යස්ථානයක් වන කාර්ග් දූපත එක්සත් ජනපදය සම්පූර්ණයෙන් විනාශ කර ඇති බවත් පවසා ඇති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙහිදී පවසා ඇත්තේ විනෝදය සඳහා එක්සත් ජනපදයයට තවත් කිහිප වතාවක් එයට පහර දිය හැකි බවය.
