අග්‍රාමාත්‍යවරිය පිලිපීනයේ ජාත්‍යන්තර වී පර්යේෂණ ආයතනයේ නිරීක්ෂණයක
March 11, 2026 06:52 pm
ආසියානු සංවර්ධන බැංකුවේ නිල ආරාධනය මත පිලිපීනයේ සංචාරයක නිරත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (11) පිලිපීනයේ ලොස් බැනෝස් හි පිහිටි ජාත්‍යන්තර වී පර්යේෂණ ආයතනයේ (IRRI) ප්‍රධාන කාර්යාලයේ නිරීක්ෂණයක නිරත විය.
එහිදී ආයතනයේ අධ්යක්ෂ ජනරාල් යොන් පින්ටෝ (Yvonne Pinto) මහත්මිය හමු වූ අග්‍රාමාත්‍යවරිය, ශ්‍රී ලංකාවේ වී වගාව සහ කෘෂිකාර්මික ක්ෂේත්රයේ තිරසාර සංවර්ධනය උදෙසා දෙපාර්ශවය අතර පවතින සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කරගැනීම පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කළාය.
ශ්‍රී ලාංකීය වී ගොවීන් මුහුණ දෙන අභියෝග පිළිබඳව විශේෂ අවධානයක් මෙහිදී යොමු කළ අතර විශේෂයෙන්ම, වී නිෂ්පාදනයට බලපාන බාධාවන්, දේශගුණික විපර්යාසයන්ගේ බලපෑම් සහ ගොවි ජනතාව නවීන තාක්ෂණික ක්‍රමවේද වෙත යොමු කිරීමේ අවශ්‍යතාව අග්‍රාමාත්‍යවරිය විසින් පෙන්වා දුන්නාය.
ශ්‍රී ලංකාවේ වී අස්වැන්න ඉහළ නැංවීමට සහ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අවශ්‍ය නවීන තාක්ෂණයන් සහ පර්යේෂණ දායකත්වය ලබා ගැනීමේ හැකියාව පිළිබඳව ද මෙහිදී කරුණු සාකච්ඡා විය.
ඒ අනුව, දේශගුණික විපර්යාසයන්ට ඔරොත්තු දෙන නව වී ප්‍රභේද හඳුන්වා දීම සහ තිරසාර ගොවිතැන් ක්‍රම ප්‍රවර්ධනය කිරීම සඳහා IRRI ආයතනය විසින් ක්‍රියාත්මක කරන ගෝලීය පර්යේෂණ අත්දැකීම් ශ්‍රී ලංකාව සමඟ හුවමාරු කර ගැනීමට එකඟතාව පළ කෙරිණි.
තවද, ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ආයතනවල ධාරිතාව වර්ධනය කිරීම, පර්යේෂණ හවුල්කාරිත්වයන් ඇති කර ගැනීම සහ දැනුම හුවමාරු කර ගැනීමේ වැඩසටහන් තවදුරටත් පුළුල් කිරීම කෙරෙහි ද දෙපාර්ශවයේ අවධානය යොමු විය.
විද්‍යාත්මක පදනමක් සහිත කෘෂිකාර්මික නවෝත්පාදනයන් මගින් ශ්‍රී ලංකාවේ ගොවි ජනතාවගේ ජීවනෝපාය නංවාලීමටත්, ජාතික ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමටත් මෙම අන්තර්ජාතික සහයෝගිතාව බෙහෙවින් ඉවහල් වනු ඇති බව අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් අවධාරණය කළාය.
