මහින්දානන්දගේ අභියාචනා විභාගය අවසන් - තීන්දුව ප්‍රකාශයට පත් කිරීම කල් තබයි
March 11, 2026 04:21 pm
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් සිරදඬුවම් නියම වී සිටින හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු විසින් එම දඬුවමට එරෙහිව ඉදිරිපත් කළ අභියාචනා විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය, එහි තීන්දුව ප්‍රකාශයට පත් කිරීම පසුවට කල් තැබීය.
පුරා දින තුනක් තිස්සේ පැවති වාචික දේශන අවසන් කිරීමෙන් අනතුරුව අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කළේය.
මෙම විනිසුරු මඩුල්ලේ සෙසු සාමාජිකයින් ලෙස ශිරාන් ගුණරත්න, අචල වෙංගප්පුලි, අර්ජුන ඔබේසේකර සහ සම්පත් අබේකෝන් යන මහත්වරු කටයුතු කරයි.
අද තුන්වන දිනටත් පෙත්සම් විභාගය ආරම්භ වූ අවස්ථාවේදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් සුභාෂිනි සිරිවර්ධන මහත්මිය අධිකරණය හමුවේ කරුණු දක්වමින්, මෙම ක්‍රීඩා භාණ්ඩ මිලදී ගැනීමේ දී රාජ්‍ය ආයතන විසින් අනුගමනය කළ යුතු ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සතොස ආයතනය විසින් අනුගමනය කර නොමැති බවට චෝදනා කළේය.
ඒ බව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් ලබාදුන් තීන්දුවේ පැහැදිළිවම සඳහන් කර තිබෙන බවත් ඇය පෙන්වා දුන්නේය.
මෙහිදී විනිසුරු අචල වෙංගප්පුලි මහතා මතුකළ ප්‍රශ්නයකට පිළිතුරු දුන් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරිය, සතොස ආයතනය යනු රාජ්‍ය හිමිකාරීත්වය සහිත සමාගමක් බවත් එම ආයතනය රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ පිළිපැදීමට බැදී සිටින බවත් සඳහන් කළාය.
සතොස ආයතනයේ සෝමපාල නමැති නිලධාරියා සාක්ෂි දෙමින් මෙම ක්‍රීඩා භාණ්ඩ මිලදී ගැනීමට අදාළ ඉන්වොයිසිය තමන්ට ලැබුණේ මෙම නඩුවේ පළමුවන විත්තිකරු වූ සභාපතිවරයාගේ කාර්යාලයෙන් බව පැහැදිලිව සඳහන් කර ඇති බවත් මෙම මිලදී ගැනීමට අදාළ කුමන්ත්‍රණය ආරම්භ වන්නේ මෙම අවස්ථාවේ සිට බවත් ඇය අධිකරණය හමුවේ අවධාරණය කළාය.
මෙම භාණ්ඩ මිලදී ගැනීමේ ක්‍රියාවලියට සම්බන්ධ කිසිදු ලිපි ගොනුවක් සතොස ආයතනයේ නැති බවත්, මේ පිළිබඳව කළ සොයා බැලීමේදී එවැනි ලේඛන කිසිවක් හමු නොවූ බවට මහාධිකරණ නඩු විභාගයේදී අනාවරණය වූණේ යැයි කියා සිටි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරිය මෙම ක්‍රීඩා භාණ්ඩ මිලදී ගැනීම ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොරව තෝරා ගත් ආයතනයකින් මිලදී ගෙන තිබෙන බව සාක්ෂිවලින් අනාවරණය වූ බවත් පැවසීය.
මහාධිකරණ නඩු විභාගයේදී සාක්ෂි දුන් එවක ක්‍රීඩා අමාත්‍යාංශයේ ගණකාධිකාරීවරිය මෙම ක්‍රීඩා භාණ්ඩ මිලදී ගැනීම සඳහා ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කර නොතිබූ බවත්, එසේ මිලදී ගත් කැරම් බෝඩ් සහ දාම් ලෑලි ක්‍රීඩා අමාත්‍යාංශයට හෝ ක්‍රීඩා දෙපාර්තමේන්තුවේ ගබඩා වෙත ලැබී නොතිබූ බවට ඇය විසින් සඳහන් කර තිබූ බවත් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරිය පැවසීය.
එසේම මෙලෙස කැරම් බෝඩ් සහ දාම් ලෑලි මිලදී ගැනීම සඳහා සිය අමාත්‍යාංශය තුළ ප්‍රතිපාදන වෙන් කර නොතිබූ බව එම සාක්ෂිකාරිය සඳහන් කළේ යැයි ද ඇය පෙන්වා දුන්නේය.
මෙම ක්‍රීඩා භාණ්ඩ සතොස ආයතනයෙන් මිලදී ගැනීම සම්බන්ධයෙන් දෙවන විත්තිකාර මහින්දානන්ද අලුත්ගමගේ සමග එකගතාවයක් පැවති බවට ඔහුගේ සම්බන්ධීකරණ ලේකම් එල්මෝ පෙරේරා මහතා ලබා දුන් සාක්ෂියක සඳහන්ව තිබූ බවත්, මෙම ක්‍රීඩා භාණ්ඩ මිලදී ගැනීම සම්බන්ධයෙන් තමා සතොස ආයතනයට ලිපියක් නිකුත් කළේ විත්තිකාර හිටපු අමාත්‍යවරයා දුන් උපදෙස් අනුව බවට එම සම්බන්ධීකරණය ලේකම්වරයා ලබාදුන් සාක්ෂියේ ප්‍රකාශ කර තිබූ බවත් ඇය කියා සිටියේය.
මේ කටයුත්තට අදාළව ලිපියක් නිකුත් කිරීමට පෙර තමා විත්තිකාර හිටපු අමාත්‍යවරයාගෙන් වාචිකව උපදෙස් ලබා ගත් බවත්, එම ලිපිය හදිසි අවශ්‍යතාවයක් ලෙස සලකා කඩිනමින් නිකුත් කරන ලෙස විත්තිකාර හිටපු අමාත්‍යවරයා තමන්ට උපදෙස් දුන් බවත් ක්‍රීඩා අමාත්‍යාංශයේ එවක ලේකම් නන්ද මල්ලවාරච්චි විසින් මහාධිකරණය හමුවේ ලබා දුන් සාක්ෂියක සඳහන් වන බවත් නියෝජ්‍ය ජෙනරාල්වරිය පැවසීය.
මෙසේ ආනයනය කළ ක්‍රීඩා භාණ්ඩ දේශපාලන පක්ෂ කාර්යාලවලට භාරදී තිබූ බවත් ඇය සඳහන් කර සිටියේය.
මෙහිදී විනිසුරු අචල වෙංගප්පුලි මහතා ප්‍රශ්නයක් යොමු කරමින් මෙම ක්‍රීඩා භාණ්ඩ දේශපාලන පක්ෂ කාර්යාලවලට බෙදා දී ඇති බවට මහාධිකරණ නඩු විභාගයේදී සාක්ෂි ඉදිරිපත් වී තිබේ දැයි විමසීය.
ඊට ප්‍රතිචාර දැක්වූ නියෝජ්‍ය ජෙනරාල් සුභාෂිනි සිරිවර්ධන මහත්මිය මෙම ක්‍රීඩා භාණ්ඩ බෙදා හැරීමට දායක වූ පුද්ගලයින් දෙදෙනෙකු මහාධිකරණ නඩු විභාගයේදී සාක්ෂි ලබාදී තිබූ බව සඳහන් කළාය.
ඔවුන්ගේ සාක්ෂිවලට අනුව එම අවස්ථාවේදී මැතිවරණයට තරග කළ මහින්ද රාජපක්ෂ මහතාගේ පක්ෂයේ ආසන සංවිධායකවරුන් වෙත එම ක්‍රීඩා භාණ්ඩ භාරදුන් බව අනාවරණය වූ බවත් ඇය සඳහන් කළාය.
වැඩිදුරටත් කරුණු දැක්වූ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරිය ස.තො.ස ආයතනය රාජ්‍ය ආයතනයක් නොවන බවට අභියාචක විත්ති පාර්ශ්වය විසින් ඉදිරිපත් කළ කරුණු ප්‍රතික්ෂේප කරන බව සඳහන් කළාය.
සතොස ආයතනය රාජ්‍ය ආයතනයක් බව මහාධිකරණ නඩු විභාගයේදී පැමිණිල්ල සාක්ෂි මගින් ඔප්පු කළ බවත් ඇය පැවසීය.
මෙහිදී අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා මතුකළ ප්‍රශ්නයකට පිළිතුරු දුන් ඇය එම සාක්ෂිය මහාධිකරණ නඩු විභාගයේදී විත්තිය විසින් අභියෝගයට ලක් නොකළ බවත් කියා සිටියේය.
සියලු කරුණු සලකා බැලීමේදී මහාධිකරණය හමුවේ ඉදිරිපත් වූ සියලු සාක්ෂි විශ්ලේෂණය කර විත්තිකරුවන් වරදකරුවන් කිරීමට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ගත් තීරණය නීත්‍යානුකූල මෙන්ම නිවැරදි බවත් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් සුභාෂිනි සිරිවර්ධන මහත්මිය සිය දේශන අවසන් කරමින් ප්‍රකාශ කළේය.
ඉන් අනතුරුව විත්තිකාර නලින් ප්‍රනාන්දු මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි ශබ්රි මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම චෝදනාවලට වගකිව යුතු සතොස ආයතනයේ ප්‍රසම්පාදන කමිටුවේ සාමාජිකයින් සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරීම හෝ ඔවුන් සාක්ෂියට කැදවීම සිදුකර නොමැති බව යළි චෝදනා කළේය.
මහින්දානන්ද අලුත්ගමගේ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධියට සිය සේවා දායකයා සම්බන්ධ කරමින් ඔහුගේ හිටපු සම්බන්ධීකරණය ලේකම් එල්මෝ පෙරේරා ලබාදුන් සාක්ෂිය විශ්වාසනීයත්වයෙන් තොරව බව චෝදනා කළේය.
ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලූ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අනතුරුව අභියාචනා විභාගය අවසන් කරමින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.
2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ එවක ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන කාර්යාලවලට බෙදාදීම සඳහා සතොස ආයතනය හරහා කැරම් බෝඩ් 14,000 ක් සහ දාම් ලෑලි 11,000 ක් ආනයනය කර එම කාර්යාලවලට බෙදා දීම තුළින් රජයට රුපියල් කෝටි 6කට ආසන්න පාඩුවක් සිදුකළ බවට චෝදනා කරමින් මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දුට එරෙහිව ඉකුත් යහපාලන රජය සමයේ කොළඹ ත්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ නඩු පවරා තිබුණි.
එම නඩුව විභාග කළ කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අදාල චෝදනාවට විත්තිකරුවන් වරදකරු කරමින් මහින්දානන්ද අලුත්ගමගේ මහතාට වසර 20ක බරපතළ වැඩ සහිත සිර දඬුවම් සහ නලින් ප්‍රනාන්දු මහතාට බරපතළ වැඩ සහිත වසර 30ක සිර දඬුවම් නියම කළේය.
එම දඬුවම්වලින් තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා එම හිටපු අමාත්‍යවරු විසින් මෙම අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබේ.
