ව්‍යාජ ආයුර්වේද වෛද්‍යවරුන් සම්බන්ධව දැනුම් දෙන්නැයි ඉල්ලීමක්

ව්‍යාජ ආයුර්වේද වෛද්‍යවරුන් සම්බන්ධව දැනුම් දෙන්නැයි ඉල්ලීමක්

March 7, 2026   03:02 pm

විවිධ පුද්ගලයින් විසින් ආයුර්වේද වෛද්‍ය සභාව ලෙස අර්ථ ගැන්වෙන පරිදි තම ආයතන නාමයන් භාවිත කරමින් සිටි බව ආයුර්වේද වෛද්‍ය සභාව පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම සභාව පෙන්වා දෙනුයේ ආයුර්වේද හෝ දේශීය වෛද්‍යවරුන් ලෙස සුදුසුකම් සපුරා නොමැති තැනැත්තන්ව ලියාපදිංචි කිරීම, දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම, සායන හා අධ්‍යාපන ආයතන පවත්වාගෙන යාම මගින් හා කූඨ ලෙස මුදල් ඉපැයීමේ ව්‍යාපාරය සිදුකරගෙන යන බව වර්තමානයේදී වාර්තා වී ඇති බවය.

ආයුර්වේද, සිද්ධ, යුනානි සහ දේශීය චිකිත්සා වෛද්‍යකර්මයන් හී යෙදීම සඳහා වෛද්‍යවරුන් හට නෛතික අධිකාරී බලය පිරිනමනු ලබන එකම ආයතනය ආයුර්ව්ද වෛද්‍ය සභාව බවත් පෙන්වා දෙන එම ආයතනය සඳහන් කරනුයේ යම් අයෙකු ආයුර්වේද හෝ දේශීය ප්‍රතිකාර සඳහා යොමු වීමේදී අදාළ වෛද්‍යවරයා නිත්‍යානුකූල සුදුසුකම් සහිත වෛද්‍යවරයෙකුද යන්න ආයුර්වේද වෛද්‍ය සභාව මගින් සනාථ කළ හැකි බවය.

ආයුර්වේද/ පාරම්පරික/ දේශීය වෛද්‍යවරුන් වශයෙන් පෙනී සිටිමින් ප්‍රතිකාර කරනු ලබන සැක කටයුතු තැනැත්තන් පිළිබඳව තොරතුරු ලැබේ නම් ආයුර්වේද වෛද්‍ය සභාව දැනුවත් කරන ලෙසද ඔවුන් සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් ද කර තිබේ.

මෙලෙස කූඨ ලෙස පෙනී සිටින ව්‍යාජ ආයතන, සංවිධාන හෝ පුද්ගලයින් සම්බන්ධයෙන් 2023 අංක 19 දරන ආයුර්වේද (සංශෝධන) පනතින් සංශෝධිත 1961 අංක 31 දරන ආයුර්වේද පනත ප්‍රකාරව නීතිමය පියවර ගන්නා බවද ආයුර්වේද වෛද්‍ය සභාව සඳහන් කළේය.

මේ පිළිබඳව වැඩි විස්තර දැනගැනීමට අවශ්‍ය වේ නම් දුරකථන අංක 0112 844 9666 අංකය ඇමතීමෙන් ලබා ගත හැකි බවද එම සභාව සඳහන් කළේය.