මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුට පැනවූ මරණීය දණ්ඩනය අභියාචනාධිකරණයෙනුත් ස්ථිර වෙයි
February 27, 2026 12:41 pm
හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 2.53 ක් සන්තකයේ තබා ගැනීම සහ ප්‍රවාහනය කිරීමේ චෝදනාවලට වරදකරු වී කොළඹ මහාධිකරණය විසින් මරණීය දණ්ඩනය නියම වී සිටි ජයසිංගම් රජීව් හෙවත් සුදාකරන් නමැති විත්තිකරු එම දඬුවමට එරෙහිව ඉදිරිපත් කළ ඇපෑලක් ඉවත දැමූ අභියාචනාධිකරණය එම මරණීය දණ්ඩනය තහවුරු කිරීමට තීන්දු කළේය.
තමන්ට පනවා තිබෙන මරණීය දණ්ඩනයෙන් තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා අදාළ විත්තිකරු විසින් ඉදිරිපත් කළ ඇපෑලක් විභාග කිරීමෙන් අනතුරුව අභියාචනාධිකරණ විනිසුරු පී. කුමාරන් රත්නම් මහතාගේ එකඟත්වය ඇතිව විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.
2014 වසරේ මාර්තු මස 17 වනදා කොළඹ, මාදම්පිටිය ප්‍රදේශයේ සිදු කරන ලද වැටලීමකදී මෙම විත්තිකරු හෙරොයින් මත්කුඩ ග්‍රෑම් 2.53 ක් සන්තකයේ තබාගෙන සිටියදී පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
පසුව නීතිපතිවරයා විසින් එම විත්තිකරුට එරෙහිව හෙරොයින් මත්කුඩු සන්තකයේ තබා ගැනීම සහ ප්‍රවාහනය කිරීම යන චෝදනා යටතේ කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කළේය.
එම චෝදනා විභාග කළ මහාධිකරණ විනිසුරුවරයා විත්තිකරු අදාළ චෝදනාවලට වරදකරු කරමින් ඔහුට මරණීය දණ්ඩනය නියම කරනු ලැබීය.
එම තීන්දුවට එරෙහිව අභියාචනාධිකරණයට ඇපෑලක් ඉදිරිපත් කළ එම විත්තිකරු තමන්ට මහාධිකරණය විසින් මරණීය දණ්ඩනය නියම කර තිබෙන ආකාරය නීතියට පටහැනි බව සඳහන් කළේය.
නඩු විභාගයේදී පැමිණිල්ලේ සාක්ෂි අතර පැවැති පරස්පරතාවයන් මෙම නඩු තීන්දුව ප්‍රකාශයට පත් කිරීමේදී විනිසුරුවරයා විසින් සැලකිල්ලට භාජනය කර නොමැති බවත් ඊට අමතරව තමන්ව අත්අඩංගුවට ගත් ආකාරයේ පවතින නීතිමයභාවය විනිසුරුවරයා නිසි ඇගයීමක් සිදු කර නොමැති බවත් ඔහු තම අභියාචනයේ සඳහන් කර තිබුණි.
මෙහිදී සියලු පාර්ශ්ව ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කළ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල මෙම තීන්දුව ලබාදීමේදී මහාධිකරණ විනිසුරුවරයා සාක්ෂි නිසියාකාරව විශ්ලේෂණය කරමින් නිවැරදි ආකාරයට ඇගයීමකට ලක් කර මෙම තීන්දුව ලබාදී තිබෙන බව සඳහන් කළේය.
ඒ අනුව මහාධිකරණ විනිසුරුවරයාගේ තීන්දුව නීත්‍යානුකූල ආකාරයෙන් සකස් වී තිබෙන බවත් ඊට මැදිහත්වීමට තම අධිකරණය අපේක්ෂා නොකරන බවත් අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල සඳහන් කළේය.
ඒ අනුව විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කර තිබූ චෝදනා මහාධිකරණය හමුවේ සාධාරණ සැකයෙන් ඔබ්බට සනාථ වී තිබෙන බවත් ඒ අනුව විත්තිකරුගේ ඇපෑල නිෂ්ප්‍රභ කරන බවත් අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල සිය තීන්දුවේ අවසන් වශයෙන් සඳහන් කළේය.
