ඇඳිවත පවා අහිමි කළ දිට්වා ව්‍යසනයට තෙමසක්
February 27, 2026 01:21 pm
ශ්‍රී ලංකාවට බලපෑ දරුණුතම ආපදාව ලෙස සැලකෙන දිට්වා සුළිකුණාටුවෙන් මෙරටට හානි සිදුවී අදට (27) තෙමසක් ගතවෙයි.
මෙම දරුණු ආපදා තත්ත්වයෙන් මෙරට පුද්ගලයින් 650කට දිවි අහිමි වෙද්දී අතුරුදන් වු 173 දෙනෙකු සොයා ගැනීමට තවමත් හැකිවී නොමැත.
2025 වසරේ නොවැම්බර් 25 වනදා සිට ශ්‍රී ලංකාවට දකුණු මුහුදු කලාපයේ හටගත් අඩුපීඩන කලාපය පසුව පීඩන අවපාතයක් බවට පත්වෙමින් නොවැම්බර් මස 27 වැනිදා සුළි කුණාටුවක් බවට පරිවර්තනය වුණි.
එම සුළි කුණාටුව නම් කෙරුණේ "දිට්වා" ලෙසය.
මෙම දිට්වා සුළි කුණාටුවේ බලපෑමෙන් පැය 24ක් තුළ මිලිමීටර් 540ක් තරම් වු වැඩිම වර්ෂාපතනයක් ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවලට ඇඳහැලුණු අතර ඉන් දිස්ත්‍රික්ක 25න් 22කටම එල්ලවූයේ දැඩි බලපෑමකි.
දිට්වා බලපෑමෙන් නිවාස 6,018ක් සම්පූර්ණයෙන්ම විනාශ වු අතර තවත් නිවාස 108,879ක් අර්ධ වශයෙන් හානිවී තිබුණි.
එමෙන්ම අදටත් සුරක්ෂා මධ්‍යස්ථාන 41ක පවුල් 1,150ක් රැඳී සිටින අතර තවත් පවුල් 43,831ක් නිවාස අහිමි වීම නිසා වෙනත් ස්ථානවල රැඳී සිටී.
ලෝක බැංකුව නිකුත් කළ වාර්තාවකට අනුව මෙම දිට්වා සුළි කුණාටුවේ බලපෑමෙන් ගොඩනැගිලි හා ඒවායේ අන්තර්ගතයන්, කෘෂිකර්මාන්තය හා තීරණාත්මක යටිතල පහසුකම්වලට සිදුකර ඇති සෘජු භෞතික හානිය අමෙරිකානු ඩොලර් බිලියන 4.1කි.
කෙසේවෙතත් දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇතිවූ ආපදාවෙන් බලපෑමට ලක්වූවන් සවිබල ගැන්වීම වෙනුවෙන් රජය සහන ලබාදීමේ වැඩපිළිවෙළක් ආරම්භ කළ අතර එය මේ වනවිටත් ක්‍රියාත්මකය.
එම වැඩසටහනට අනුව ආපදා තත්ත්වයට මුහුණ පෑ නිවාස පිරිසිදු කරගැනීම සඳහා රුපියල් 25,000ක දීමනාවක් ලබාදෙන අතර පෙබරවාරි මස 20 වැනිදා වනවිට එය ගෙවීමේ ප්‍රතිශතය 98.07%කි.
එමෙන්ම ආපදාවෙන් බලපෑමට ලක්වූ නිවාසවල නැවත පදිංචියට අත්‍යවශ්‍ය මුළුතැන්ගේ බඩු මුට්ටු හා අත්‍යවශ්‍ය ගෘහ උපකරණ මිලදී ගැනීමට රුපියල් 50,000ක දීමනාවක් ලබාදෙන අතර පෙබරවාරි මස 20 වැනිදා වනවිට ඒ සඳහා සුදුසුකම් ලැබූ ප්රතිලාභීන්ගෙන් 90.75%කට එම දීමනාව ලබාදී තිබේ.
