රතු නිවේදන නිකුත් කර තිබූ දිස්ත්‍රික්ක තුනක පවුල් කිහිපයක් ආරක්ෂිත ස්ථාන වෙත
February 21, 2026 11:49 pm
පවතින අධික වර්ෂාපතනයත් සමග ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් අද (21) පස්වරුවේ නිකුත් කරනු ලැබූ නායයෑම් රතු නිවේදන හමුවේ දිස්ත්‍රික්ක 3කට අදාළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 3ක පවුල් ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමට පියවර ගත් බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
එම මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසුවේ ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර බඹර බැද්ද ප්‍රදේශයේ පවුල් 40ක්, කෑගල්ල දිස්ත්‍රික්කයේ කෝවිල් කන්ද ප්‍රදේශයේ පවුල් 02ක් සහ මාතලේ දිස්ත්‍රික්කයේ අඹන්ගඟ කෝරලේ කළුගල්තැන්න ප්‍රදේශයේ පවුල් 05ක් ආරක්ෂිත ස්ථාන කරා යොමු කළ බවය.
එමෙන්ම පවතින අධික වර්ෂාපතනය හමුවේ මහනුවර මාර්ග දෙකක්ද අවහිර වී ඇති බවත් පැවසූ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ මහනුවර දිස්ත්‍රික්කයේ ගුහාගොඩ හල්ඔළුව හරහා පේරාදෙණිය මාර්ගය ගල් පෙරලීම් හේතුවෙන් අවහිර වී ඇති බවත් ඒ අනුව එම මාර්ගය තාවකාලිව වසා දැමීමට පියවර ගත් බවය.
එමෙන්ම ගල් පෙරලීම් හේතුවෙන් මුරුතලාව ගන්නෝරුව මාර්ගයත් වසා දැමීමට පියවර ගත් බවත් පැවසූ ඒ මහතා, මෙම මාර්ග භාවිත කරන රියදුරන් මේ සම්බන්ධව අවධානය යොමු කරමින් කටයුතු කරන ලෙසත් ඉල්ලා සිටියේය.
