
රුවන්වැලි මහා සෑය අභියස මාරාන්තික උපවාසයක නිරත වන පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන්ට හෙට (13) දින කොළඹ දිසා අපරාධ කොට්ඨාසයේ විමර්ශන ඒකකය වෙත පැමිණ ප්‍රකාශයක් ලබාදෙන ලෙසට දැනුම්දීමක් සිදු කර තිබේ.
ඒ, පසුගිය ඔක්තෝබර් මස 17 වැනිදා විහාර මහාදේවි උද්‍යාන පරිශ්‍රය තුළදී සත්‍යග්‍රහයේදී ඇති වූ නොසන්සුන්තාවයේදී පොලිස් නිලධාරින් විසින් තමන්ට පහරදුන් බවට මාධ්‍ය වෙත සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයට අදාළවය.
උන්වහන්සේට ඊයේ (11) දින පෙරවරු 10.00ට කොළඹ දිසා අපරාධ කොට්ඨාසයේ විමර්ශන ඒකක 02 වෙත පැමිණ ප්‍රකාශයක් ලබාදෙන ලෙසට දැනුම්දීමක් සිදු කර තිබුණි.
මේ සම්බන්ධයෙන් උඩමලුව පොලිස් ස්ථානය හරහා කස්සප හිමියන්ට දැනුම්දී තිබුණ ද උන්වහන්සේ ප්‍රකාශය ලබාදීමට නොපැමිණෙන බවක් හෝ නොපැමිණෙන බවට දැනුම්දීමක් උන්වහන්සේ විසින් සිදු කර තිබුණේ නැත.
ඒ අනුව උන්වහන්සේට හෙට (13) දින කොළඹ දිසා අපරාධ කොට්ඨාසයේ විමර්ශන ඒකකය වෙත පැමිණ ඉහත ප්‍රකාශය ලබා දෙන ලෙසට දැනුම්දීමට උඩමලුව පොලීසිය කටයුතු කර ඇත.
කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් පළ කරමින් පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ප්‍රකාශ කළේ, තමන් වහන්සේ කිසිදු අධිකරණ නියෝගයක් පිළිනොපදින බවය.
එමෙන්ම කිසිදු අධිකරණ නියෝගයක් භාරදිය නොහැකි බවත්, තමන් උන්වහන්සේට නියෝග දිය හැක්කේ සංඝ අධිකරණයට බවත් උන්වහන්සේ අවධාරණය කළේය.
















































