ඇෆ්ගන් ක්‍රිකට් ඔසවා තබා නික්ම යන ට්‍රොට්

ඇෆ්ගන් ක්‍රිකට් ඔසවා තබා නික්ම යන ට්‍රොට්

February 19, 2026   10:08 pm

ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ හිටපු එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩක ජොනතන් ට්‍රොට්ගේ ධුර කාලය මෙවර විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසුව අවසන් වේ.

ඒ අනුව චෙන්නායිහිදී අද (19) කැනඩාවට එරෙහිව පැවැත්වෙන තරගය ට්‍රොට් ඇෆ්ගනිස්තානය වෙනුවෙන් සිය සේවය ලබාදෙන අවසන් තරගය වනු ඇත.

2022 ජූලි මාසයේ දී ඇෆ්ගනිස්තාන ප්‍රධාන පුහුණුකරුගේ වගකීම භාරගත් ට්‍රොට්, අවස්ථා රැසකදී ඇෆ්ගනිස්තානයට ගෞරවනීය ජයග්‍රහණ රැසක් අත්පත් කරගැනීමට දායක විය.

මෙවර විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 වටයට සුදුසුකම් ලැබීමට ඇෆ්ගනිස්තානයට  නොහැකි වුවත්, ඔවුන් නවසීලන්තය හා දකුණු අප්‍රිකාව හමුවේ පරාජය වූයේ ප්‍රබල සටනකින් අනතුරුවය.

ඇෆ්ගනිස්තාන ක්‍රිකට් වෙනුවෙන් ජොනතන් ට්‍රොට් දැක්වු දායකත්වය අගයමින් නායක රෂීඩ් ඛාන් පවසා සිටියේ, ට්‍රොට් ඇෆ්ගනිස්තාන ක්‍රිකට් ක්‍රීඩාව නව තලයකට ඔසවා තැබීමට දායක වූ බවය.

"ජොනතන් ට්‍රොට් අප සමග ක්‍රීඩා කරන අවසාන තරගය. අපි ඔහු සමග විශිෂ්ට ගමනක් ගියා. ඔහු ඇෆ්ගනිස්තාන ක්‍රිකට් ක්‍රීඩාව දැන් තිබෙන තැනට ගෙන ගිය කෙනෙක්.

සෑම ක්‍රීඩකයෙකු වෙනුවෙන්ම ට්‍රොට්ගේ කැපවීම මෙන්ම කණ්ඩායමට දැක්වූ මඟ පෙන්වීමේදී ඔහු වැදගත් කාර්යභාරයක් ඉටුකළා.

"ඔහු ඒ සෑම කෙනෙකු සමඟම ගොඩක් මහන්සි වෙලා වැඩ කළා. අනිවාර්යනේ අපි හැමෝටම ඔහුව ගොඩක් මතක් වෙයි. මේ කණ්ඩායම නිවැරදි මාවතට ගෙනියන්න ඔහු ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළා" රෂීඩ් පැවසීය.