බ්‍රිතාන්‍යයේ නියෝජ්‍ය අගමැති දිවයිනට

බ්‍රිතාන්‍යයේ නියෝජ්‍ය අගමැති දිවයිනට

February 17, 2026   10:15 am

‍බ්‍රිතාන්‍ය නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් ලැමී නිල සංචාරයක් සඳහා අද (17) උදෑසන දිවයිනට පැමිණ තිබේ.

ඩේවිඩ් ලැමී මහතා සඳහා එරට නියෝජ්‍ය අග්‍රාමාත්‍ය කාර්යාලයේ උසස් නිලධාරීන් 7දෙනෙකු දූත පිරිස ලෙස මෙලෙස දිවයිනට පැමිණ ඇත.

අද (17) උදෑසන 09.11ට දෝහා සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර් - 664 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණි .

ඔවුන් පිළිගැනීම සඳහා විද්‍යා සහ තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිශාන්ත අබේසේන මහතා ඇතුළු පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියහ.

දෙරට අතර සහයෝගීතාව වර්ධනය කිරීමේ අරමුණින් ‍බ්‍රිතාන්‍ය නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා මෙම සංචාරයේ නිරත වේ.

මෙහිදී බ්‍රිතාන්‍ය නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් ලැමී ජනාධිපති අනුර කුමාර දිසානායක, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඇතුළු රජයේ ඉහල පෙළේ නිලධාරීන් සමග ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබේ.

දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ප්‍රජාවට එක්සත් රාජධානියෙන් ලබාදුන් මානූෂීය ආධාර සහ එම වැඩපිළිවෙළ නිරීක්ෂණය කිරීම ද නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයාගේ සංචාරයේ අරමුණ වී ඇත.

ඊට අමතරව ළමා රැකවරණය සඳහා වන ගෝලීය ව්‍යාපාර ප්‍රඥප්තිය සඳහා වන ගිවිසුමට අත්සන් කිරීම ද බ්‍රිතාන්‍ය නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් ලැමීගේ මෙම සංචාරය තුළ සිදුකිරීමට නියමිතය.