ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද රැස්වෙයි - විගණකාධිපති පුරප්පාඩුව අවසන් වන ලකුණු

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද රැස්වෙයි - විගණකාධිපති පුරප්පාඩුව අවසන් වන ලකුණු

February 3, 2026   06:37 am

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (03) රැස්වීමට නියමිතව තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපති කථානායක ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද දහවල් 12ට පාර්ලිමේන්තු සංකීර්ණයේ දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්වීමට නියමිත බව වාර්තා වේ.

විගණකාධිපති තනතුර සඳහා ජනාධිපතිවරයා විසින් නිර්දේශ කරන ලද නම් පිළිබඳ අද දිනයේ දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අවධානය යොමු කිරීමට නියමිතය.

ඒ අනුව නව විගණකාධිපතිවරයෙකු තෝරා ගැනීම අද දිනය තුළ සිදුවනු ඇති බව වාර්තා වේ.

හිටපු විගණකාධිපති ඩබ්ලිව්.පී.සී වික්‍රමරත්න මහතා විශ්‍රාම යාමත් සමග පසුගිය අප්‍රේල් මස 8 වන දින සිට විගණකාධිපති ධුරය හිස්ව පවතී.

එම ධුරයේ වැඩබැලීම සඳහා විගනකාධිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වන ධර්මපාල ගම්මන්පිල මහතා පත්කෙරුණු අතර, ඔහුගේ වැඩබැලීමේ කාලය ද පසුගිය දෙසැම්බර් මස 5 වන දිනෙන් අවසන් වුණි.

මේ වන විට විගණකාධිපති ධුරය හිස්ව පවතින අතර ජනාධිපතිවරයා විසින් අවස්ථා කිහිපයක දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට නම් යෝජනා කළ ද එම නම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීය.

කෙසේවෙතත් ජනාධිපතිවරයා විසින් විගණකාධිපති ධුරය සඳහා නව නිර්දේශ ඉදිරිපත් කර ඇති අතර ඒ සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අවසන් තීරණයක් ගැනීමට නියමිතව තිබේ.

මේ අතර පෙබරවාරි මාසයේ පළමු පාර්ලිමේන්තු රැස්වීම අද පැවැත් වේ.

ලබන සිකුරාදා දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර නිදහස් දිනය හේතුවෙන් හෙට (04) දිනයේ පාර්ලිමේන්තු රැස්වීම නොපැවැත්වෙන බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය සඳහන් කළේය.