පීඩන අවපාතය ක්‍රමයෙන් මුලතිව් වෙරළ තීරය හරහා දිවයින තුළට
January 10, 2026 07:46 pm
UPDATE - ශ්‍රී ලංකාවේ ඊසානදිග වෙරළට ඔබ්බෙන් නිරිතදිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවැති පීඩන අවපාතය අද දින පස්වරු 3.30ත් 4.30ත් අතර මුලතිව් ආසන්නයේ ඊසානදිග වෙරළ තීරය හරහා ගමන් කර පස්වරු 5.30 වන විට යාපනයට ගිනිකොන දෙසින් කිලෝමීටර් 70ක් පමණ දුරින් කේන්ද්‍රගතව පැවතුණු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
අද (10) පස්වරු 8.30ට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නවතම නිවේදනයක දැක්වෙනුයේ එය ඉදිරි පැය 12 තුළ බටහිර දෙසට ආසන්නව ගමන් කර ක්‍රමයෙන් දුර්වල වී අඩු පීඩන ප්‍රදේශයක් දක්වා පත්වීමට බොහෝ දුරට ඉඩ ඇති බවය.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම නිවේදනය පහතින්,
----------------------------------
නිරිතදිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවැති පීඩන අවපාතය ක්‍රමයෙන් මුලතිව් ආසන්න වෙරළ හරහා දිවයිනට ඇතුල් වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පැවසුවේ අද (10) පෙරවරු 11.30ට මුලතිව් සිට කිලෝමීටර් 20ක් පමණ නැගෙනහිර දෙසින් පීඩන අවපාතය පිහිටා තිබුණු බවය.
එම පීඩන අවපාතය හෙට (10) දින වන විට අඩු පීඩන ප්‍රදේශයක් දක්වා දුර්වල වීමට හැකියාව පවතින බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
මේ හේතුවෙන් ඉදිරි පැය 24ක කාලය තුළ උතුරු පළාතේ විටින් විට හමන පැයට කිලෝමීටර් 50-60 දක්වා ඉතා තද සුළං සමග විටින් විට හමන පැයට කිලෝමීටර් 70ක් දක්වා වන ප්‍රහාරාත්මක සුළං ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව සිය නිවේදනයේ දක්වා තිබේ.
එමෙන්ම ත්‍රිකුණාමලය සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැයට කිලෝමීටර් 40-50 දක්වා තද සුළං ඇතිවිය හැකි බවත් එම නිවේදනයේ සඳහන්ව ඇත.
මේ අතර දිවයිනේ උතුරු අර්ධයේ අහස වලාකුළින් බරව පවතින බවත් උතුරු පළාතේ පුත්තලම, අනුරාධපුර සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර උතුරු පළාතේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වඩා තද වැසි ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සිය නිවේදනය මගින් වැඩිදුරටත් පෙන්වා දී තිබේ.
