වෙනිසියුලාව ව්‍යාපාර සඳහා විවෘත බව ට්‍රම්ප් කියයි

වෙනිසියුලාව ව්‍යාපාර සඳහා විවෘත බව ට්‍රම්ප් කියයි

January 10, 2026   02:42 pm

දෙපාර්ශ්වය අතර සබඳතා වර්ධනය වෙමින් පවතින බැවින්, වෙනිසියුලාවට දෙවැනි ප්‍රහාරයක් එල්ල කිරීම අවලංගු කළ බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

මේ අතර ජනපති ට්‍රම්ප් ඊයේ අමෙරිකානු තෙල් සමාගම්වල නියෝජිතයින් හමුවී ඇති අතර එහිදී ඔහු පවසා ඇත්තේ වෙනිසියුලාව ව්‍යාපාර සදහා විවෘත බවය.

වෙනිසියුලාව මේ වන විට අමෙරිකාව සමඟ සහයෝගයෙන් කටයුතු කරන බැවින් වෙනිසියුලාවට දෙවැනි ප්‍රහාරයක් එල්ල කිරීමක් සිදුනොවන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කර සිටී.

සිය ටෘෘත් සොෂල් සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් ඔහු පවසා ඇත්තේ වෙනිසියුලාව මේ වන විට සාමය ළඟා කරගැනීමේ පියවරක් ලෙස දේශපාලන සිරකරුවන් විශාල පිරිසක් නිදහස් කරමින් සිටින අතර එය ඉතා වැදගත් සහ යහපත් සංඥාවක් බවය.

ජනාධිපතිවරයා මෙම ප්‍රකාශය සිදු කරන්නේ වෙනිසියුලාවට එරෙහිව තවදුරටත් හමුදාමය ක්‍රියාමාර්ග ගැනීම වැළැක්වීමේ යෝජනාවක් අමෙරිකානු සෙනෙට් මණ්ඩලය හමුවේ පෙරේදා සම්මත වූ පසුබිමකය.

එමෙන්ම මහා පරිමාණ තෙල් සමාගම් වෙනිසියුලාව තුළ ඩොලර් බිලියන 100ක පමණ ආයෝජන සිදුකරනු ඇති බව ට්‍රම්ප් පවසා ඇත්තේ අමෙරිකානු නෞකා එම කළාපය තුළ තවදුරටත් ස්ථාන ගත කරන බව පවසමිනි.

මේ අතර ජනපති ට්‍රම්ප් ඊයේ අමෙරිකානු තෙල් සමාගම්වල නියෝජිතයින් හමුවී තිබේ.

එහිදී ඔහු පවසා ඇත්තේ වෙනිසියුලාව ව්‍යාපාර සදහා විවෘත බවය.

එම අවස්ථාවට සහභාගී වූ තෙල් සමාගම් ප්‍රධානීන් වෙනිසියුලාව තුළ ව්‍යාපාර ආරම්භ කිරීම සඳහා මේ වන විට පවතින නීතිමය සහ අනෙකුත් බාධක පිළිබඳව ද ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කර ඇත.

මෙවන් පසුබිමක වෙනිසියුලානු තෙල් ප්‍රවාහනයට යොදාගත් තවත් නෞකාවක් අමෙරිකානු හමුදා කැරිබියන් මුහුදේදී ඊයේ සිය භාරයට ගෙන තිබේ.

ඔලීනා නම් එම නෞකාව මෙලෙස අමෙරිකානු හමුදා භාරයට ගත් පස්වැනි ඉන්ධන ප්‍රවාහන නෞකාවය.

මේ අතර වෙනිසියුලානු රජය, රඳවාගෙන සිටි දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම ආරම්භ කර ඇත.

 විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ පළමු අදියර යටතේ ස්පාඤ්ඤ ජාතිකයින් ද ඇතුළුව පුද්ගලයින් නව දෙනෙකු නිදහස් කර ඇති බවය.

ඒ අතර පසුගිය ජනාධිපතිවරණයේදී එරට විපක්ෂ අපේක්ෂකයාට සහාය දැක්වූ ප්‍රධාන පෙළේ පිරිසක් ද වේ.

මේ අතර වෙනිසියුලාවේ වත්මන් අන්තර්වාර ජනාධිපතිනී ඩෙල්සි රොද්‍රිගස් ඊයේ පවසා ඇත්තේ අමෙරිකාව සහ වෙනිසියුලාව තුළ දෙරටේ තානාපති කාර්යාල යළි ඇරඹීමේ හැකියාවන් සම්බන්ධයෙන් සොයා බලමින් සිටින බවය.