
ඉන්දියාවේ පවතින එල්නිනෝ කාලගුණික තත්ත්වය හමුවේ ඇතැම් ආනයනික භාණ්ඩවල මිල ඉහළ යාමේ හැකියාවක් පවතින බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි.
එබැවින් විකල්ප වෙළෙඳපොළ සොයා බැලීමටත්, උත්සව සමය තුළ මෙරටට අවශ්‍ය භාණ්ඩ හිඟයකින් තොරව සැපයීමටත් ආනයනකරුවන් එකඟතාව පළ කර ඇති බව ද ඒ මහතා සඳහන් කළේය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ උත්සව සමයේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යාම පාලනය කිරීමේ අරමුණින් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදීය.
එමෙන්ම වියළි මිරිස් හැර අනෙකුත් සියලුම ආනයනික භාණ්ඩ කිසිදු බාධාවකින් තොරව මෙරට වෙළෙඳපොළට සැපයීමට හැකියාව පවතින බව ආනයනකරුවන් ප්‍රකාශ කළේ යැයි ද අමාත්‍යවරයා පැවසීය.
වියළි මිරිස් ආනයනයේදී මතුව ඇති ප්‍රධාන ගැටලුව එහි තෙතමන ප්‍රතිශතය ඉහළ යාම බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ (SLSI) ප්‍රමිතීන් සහ ආහාර සුරක්ෂිතතා නිර්ණායකවලට අනුව මෙරටට ආනයනය කරන වියළි මිරිස් තොග නිදහස් කිරීම සඳහා ඒවායේ තෙතමන ප්‍රතිශතය සියයට 12ට අඩු විය යුතුය.
කෙසේ වෙතත්, ඉන්දියාවේ පවතින අධික වර්ෂාපතනය සහ එල්නිනෝ තත්ත්වයේ බලපෑම හේතුවෙන් ඇතැම් වියළි මිරිස් තොගවල තෙතමන ප්‍රතිශතය සියයට 13ත් 14ත් අතර මට්ටමක පැවතීම නිසා එම මිරිස් අඩංගු බහාලුම් නිදහස් කර ගැනීමේදී ප්‍රමාදයන් මතුව ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙය වෙළෙඳපොළේ මිරිස් හිඟයක් නොව, ප්‍රමිතීන්ට අනුකූලව තොග නිදහස් කර ගැනීමේදී මතුව ඇති ගැටලුවක් බව ද අමාත්‍යවරයා පැවසීය.
මෙම තත්ත්වය අඛණ්ඩව පැවතුණහොත් ඉදිරියේදී මෙරටට පැමිණෙන මිරිස් තොගවල ද තෙතමන මට්ටම ඉහළ යාමේ අවදානමක් පවතින බැවින්, ලබන මාර්තු මාසය දක්වා ක්‍රියාත්මක කළ හැකි අන්තර්කාලීන වැඩපිළිවෙළක් සකස් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කරන ලෙස ආනයනකරුවන් ඉල්ලීමක් කර ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය.
වියළි මිරිස් වැනි භාණ්ඩවල සැපයුම් ගැටලු ප්‍රයෝජනයට ගනිමින් අසාධාරණ ලෙස මිල ඉහළ දැමීමට වෙළෙඳුන් කටයුතු කළහොත් ඊට එරෙහිව රජය මැදිහත් වන බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.
වෙළෙඳපොළේ ඉල්ලුම හා සැපයුම මත මිල තීරණය වීම රජයේ අපේක්ෂාව වන අතර, අනවශ්‍ය ලෙස මිල පාලනය කිරීමට රජයට අවශ්‍ය නොවන බව ද ඒ මහතා පැවසීය.
එහෙත් පවතින සැපයුම් ගැටලු අවභාවිත කරමින් පාරිභෝගිකයන් සූරාකෑමට වෙළෙඳුන් කටයුතු කළහොත්, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සහ පාරිභෝගික සේවා කවුන්සිලය හරහා අවශ්‍ය පියවර ගෙන පාලන මිලක් නියම කිරීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
















































