
වෙළෙඳපොළේ වියළි මිරිස් කිලෝවක තොග මිල ඉදිරියේදී රුපියල් 2,500 ඉක්මවා යා හැකි බව අත්‍යවශ්‍ය ආහාර ආනයනකරුවන්ගේ සංගමය අනතුරු අඟවයි.
එම සංගමයේ ලේකම් පී. සුබ්‍රමනියම් මහතා සඳහන් කළේ, රේගු භාරයේ රඳවාගෙන ඇති වියළි මිරිස් අඩංගු බහාලුම් නිදහස් කිරීමට කඩිනම් පියවර නොගතහොත් ඉදිරියේදී වෙළෙඳපොළ තුළ වියළි මිරිස් හිඟයක් ඇතිවීමේ අවදානමක් පවතින බවය.
මේ වන විට වියළි මිරිස් අඩංගු බහාලුම් 120කට ආසන්න ප්‍රමාණයක් රේගු ගබඩාවල රඳවා ඇති බවද ඔහු සඳහන් කළේය.
අදාළ ආනයනකරුවන් විසින් අවශ්‍ය ලේඛන කටයුතු සම්පූර්ණ කර, රේගු ගාස්තු ඇතුළු අදාළ ගෙවීම් සිදුකර, පරීක්ෂණ කටයුතුද අවසන් කර තිබියදී ප්‍රමිතිය සම්බන්ධයෙන් පවතින ගැටලුවක් හේතුවෙන් මෙම බහාලුම් නිදහස් කර ගැනීමට නොහැකි වී ඇති බව ඒ මහතා පැවසීය.
පී. සුබ්‍රමනියම් මහතා පෙන්වා දෙන්නේ, මීට පෙර රුපියල් 1,050ක් පමණ වූ වියළි මිරිස් කිලෝවක මිල මේ වන විට රුපියල් 2,000ක් පමණ දක්වා ඉහළ ගොස් ඇති බවය.
එමෙන්ම මෙම මිල තවදුරටත් ඉහළ ගොස් රුපියල් 2,500 සීමාව ඉක්මවා යා හැකි බවට ද ඒ මහතා අනතුරු ඇඟවීය.
මෙම තත්ත්වය වියළි මිරිස් කුඩු නිෂ්පාදනය කරන කර්මාන්තශාලාවලටද දැඩි බලපෑමක් එල්ල කර ඇති බව ද මෙහිදී අදහස් දක්වමින් ඒ මහතා පෙන්වා දුන්නේය.
එමෙන්ම ඔහු වැඩිදුරටත් පැවසුවේ අමුද්‍රව්‍ය හිඟය හේතුවෙන් එම කර්මාන්තශාලා රැසක නිෂ්පාදන කටයුතු නතර කිරීමට සිදුව ඇති අතර, එමඟින් ව්‍යාපාරිකයන්ට ද විශාල පාඩුවක් සිදුව ඇති බවය.
එබැවින් වියළි මිරිස් තොග රේගු භාරයෙන් නිදහස් කර ගැනීම සඳහා පවතින තත්ත්වයට කඩිනම් ක්‍රමවේදයක් සකස් කර දෙන ලෙස ද ඒ මහතා රජයෙන් ඉල්ලා සිටී.
















































